logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වායු දූෂණයේ බරපතළකම ජනතාව තවමත් වටහාගෙන නැත

උදැසන වැඩට එන විට අප නිවස ඉදිරිපිටින් දිවෙන පාරෙහි දක්‌නට ලැබෙන සුලබ දසුනක්‌ වන්නේ දැල්වෙමින් පවතින ගිනි ගොඩවල් ය. අතීත මිනිසුන්, විශේෂයෙන් ම දඩයක්‌කාරයන් හා ද්‍රව්‍ය එකතු කරන්නන් ගිනි ගොඩවල් ගැසුවේ උනුසුම ලබා ගන්නට හෝ ආහාර පුළුස්‌සන්නට ය. එහෙත් අද මිනිසුන් ගිනි ගොඩවල් ගසන්නේ කුණු පුළුස්‌සන්නට ය. මේ කුණු අතර පොලිතින්, ප්ලාස්‌ටික්‌ හා ඇතැම් විට සායනික හා වෙනත් හානිකර අපද්‍රව්‍ය ද ඇතුළත් ය. මෙසේ කුණු පුළුස්‌සමින් සිටින බොහෝ දෙනා සිතන්නේ තමන් කරන්නේ සමාජ සේවයක්‌ බව ය. තවත් විදිහකට කිව හොත් ඔවුන්ට අනුව ඔවුන් කරන්නේ පරිසර හිතකාමී, පරිසර මිතුරු ක්‍රියාවක්‌ බව ය.

මෙලෙස පාරවල් අසල කුණු පුළුස්‌සන අය සමග මා කතාබහේ යෙදී ඇති අතර ඔවුන් තමන් කරන්නා වූ මේ පරිසර විරෝධී ක්‍රියාදාමය ගැන මහත් අභිමානයකින් පසු වන බව ඒ අවස්‌ථාවල දී මට පෙනී ගොස්‌ ඇත. මේ අය ගෙන් බොහෝ දෙනෙක්‌ තවමත් පොලිතින් පිලිස්‌සීම තහනම් බව නො දනිති. ඔවුන් විශ්වාස කරන්නේ කුණු (පොලිතින් ද ඇතුළත් ව) පිළිස්‌සීම තරම් පරිසර හිතකාමී ක්‍රියාවක්‌ තවත් නැති බවයි.

නව නීතියට ඇතුළත් වන්නේ ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීම පමණක්‌ ම නො වේ. නියෝග අංක 2017 අංක 1 දරන ජාතික පාරිසරික පනතින් ප්ලාස්‌ටික්‌ අඩංගු කසළ මෙන් ම පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍යයන් ද එළිමහනේ පිළිස්‌සීම තහනම් කර තිබේ. එසේ පිළිස්‌සීම පමණක්‌ නො ව පිළිස්‌සීමට ඉඩ දීම ද වරදකි. එනම් තමාට අයත් වත්තක මෙලෙස කුණු ගිනි අවුලනවා නම් (වෙන කෙනකු හෝ) ඉඩම් හිමියාට පවා දඩුවම් විදින්නට වේ.

මෙවැනි පෘථුල මට්‌ටමේ නීතියක්‌ ක්‍රියාත්මක වන විට නීති ක්‍රියාත්මක කරන බලධාරීන්ට මෙන් ම පුරවැසියන්ට ද සමාජ වගකීමක්‌ පවතී. එය නම් මේ නීතියට තමන් අනුගත වීම පමණක්‌ නො ව අන් අය ද මේ කෙරෙහි පොලඹවාලීමයි.

ඉහත වැරැදි සිදු කරන කවුරුන් හෝ 1980 අංක 47 දරන පනතේ 31 වන්තිය යටතේ දඩුවම් ලැබීමට යටත් ය. ඒ දඩුවම අවුරුදු 2ක සිර දඩුවමක්‌ හෝ මුදල් දඩයක්‌ විය හැකි ය. මා සමහර දිනවල මේ දඩුවම් ප්‍රකාශයට පත් ව ඇති ගැසට්‌ පත්‍රය පවා ගෙන ගොස්‌ මේ කුණු පුළුස්‌සන්නන් දැනුවත් කර ඇති නමුත් ඔවුන් ඒ නීති ගැන එතරම් උනන්දුවක්‌ දක්‌වන බව පෙනී ගියේ නැත.

කුණු පිළිස්‌සීම ගැන ලියෑවෙන ලිපියක දී අප රටේ නීතිය කෙරෙහි මිනිසුන් දක්‌වන සැලකිල්ල පිළිබදව පවා ලියන්නට සිදු වේ. පොලිතීන් පිළිබද නව නීතියක බලාත්මක වූයේ 2018 ජනවාරි පළමු වැනි දා ය. ජනවාරි පළමු වැනි දා රූපවාහිනිය නරඹමින් සිටි මට දැකගන්නට හැකි වූයේ මේ නව නීතියට එකග නැති එක්‌තරා සංවිධානයක නියෝජිතයෙක්‌ ගිරිය පුප්පා කෑගසමින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට බැණ අඩගසන ආකාරයයි. නව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා තම වෙළෝදසල් වෙත පැමිණිය හොත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට පහර දී පන්නා දමන බව ඔහු ප්‍රකාශ කර සිටියේ ය. එය හිතට ආ නිසා කී දෙයක්‌ ද නැත හොත් ඇත්තට ම එසේ කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනා නිසා කී දෙයක්‌ ද යන්න නො දනිමි. එහෙත් අපේ රටේ බහුතරයක ගේ මානසිකත්වය වන්නේ එයයි. නීතිය ගැන තමන්ට පැහැදීමක්‌ නොමැති නම් ඒ නීතිය පිළිපැදිය යුතු නැති බව අපේ මිනිස්‌සු හිතති. එසේ ම පවසති. අපේ ගේ අසල පාරවල කුණු පුළුස්‌සන මිනිසුන් ගේ මානසිකත්වය ද මීට වෙනස්‌ නැත. ඔවුන් කියන්නේ ද මේ දෙය ම ය.

"අපට නීති වැඩක්‌ නැහැ. නීති කතා කරන්න ආවොත් ගහල එලවනවා. අපි කරන්නේ හොද ම දේ. කුණු පුච්චන්නේ නැති ව වෙන මොනව කරන්න ද? අපි ඉස්‌සරත් කුණුවලට කළේ මේ දෙයයි. අනෙක කුණු පුච්චන්නේ නැති ව කන්න ද? "

ඒ ඔවුන් ගේ අදහස්‌වල සංක්‍ෂිප්තයයි. ලොව පරිසර දූෂණයෙන් සිදු වන මරණ අතරින් වැඩි ම මරණ ගණනක්‌ සිදු වන්නේ වායු දූෂණය නිසා බව සමහර විට මෙලෙස කුණු පුළුස්‌සමින් මහජන පීඩාවක යෙදෙන අය නො දන්නවා විය හැකි ය. 2016 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2015 දී පරිසර දූෂණය හේතු කොටගෙන මිය ගිය සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 9කි. එයින් මිලියන 6.5ක්‌ ම මිය ගොස්‌ ඇත්තේ වායු දූෂණය හේතු කොටගෙන ය.

වායු දූෂණය යෑයි කියන විට බොහෝ දෙනකු ගේ මනසේ මැවෙන්නේ ලොකු දුම් කවුළුවක්‌ සහිත කර්මාන්තශාලාවක පින්තූරයකි. ඒ දුම් කවුළුවෙන් ලොකු දුම් රොටු පිට වේ. මේ චිත්‍රයෙන් එහා කිසිවක්‌ වායු දූෂණයට අදාළ වෙතැයි බොහෝ දෙනා සිතන්නේ නැත. තමන්ට මෙවැනි ලොකු දුම් කවුළු සහිත කර්මාන්ත ශාලා නැති නිසා තමන් වායුගෝලීය දුෂණයට දායක නො වන බව බොහෝ දෙනකු ගේ අදහසයි. එහෙත් දුම්වැටියක්‌ දල්වන කෙනකු පමණක්‌ නො ව හදුන්කූරත් දල්වන කෙනකු පවා ඉහතින් විස්‌තර කළ මරණ මිලියන 6.5ට වගකිව යුතු වේ. ඒ පාපයෙන් අත සෝදාගන්නට ඔබට හෝ මට හෝ නොහැකි වේ.

තම වත්තේ හෝ පාර අයිනේ හෝ කුණු පුළුස්‌සන හැම දෙනකු ම ඒ අසරණයන් ගේ ජීවිත විනාශ වීම ගැන වගකීම භාරගත යුතු වේ. අප ගේ ජීවිත ද ඇත්තේ ද අනතුරේ ය. පොලිතීන් පිළිස්‌සීම ගැන කතා කිරීම මේ ලිපියේ මූලික අරමුණ වුව ද ඉන් ඔබ්බට ගොස්‌ වෙනත් වායු දූෂණ ගැන කතා කරන්නට ද සිදු වේ.

ගිනිකෙළි ද තහනම් කළ යුතු ය

ඉකුත් දිනවල සිදු වූ තවත් භයානක පාරිසරික දුෂණයක්‌ (වායුගෝලීය) වන්නේ ගිනිකෙළි දැල්වීමයි. නත්තල් දා රාත්‍රියේ දීත් අලුත් අවුරුදු එළැඹෙන දා රාත්‍රියේ දීත් අපේ රටේ කොපමණ නම් මුදල් ප්‍රමණයක්‌ රත්ඤ්ඤා, නිලා, බඹර චක්‍ර, අහස්‌ කූරු ආදිය වෙනුවෙන් පිළිස්‌සෙන්ට ඇත් ද?

නත්තල් දිනයේ දී මෙලෙස මුදල් පුච්චන්නේ නැති ව ඒවා අසරණ දුප්පතකු ගේ ප්‍රයෝජනයට යොදන්නට කතෝලිකයකුට බැරි ද? දෙසැම්බර් 24 දා රැයෙහි ඡේසුස්‌ වහන්සේ යම් විදිහකින් ලංකාවට වැඩම කළ හොත් උන්වහන්සේ අනිවාර්යයෙන් මේ ගිනිකෙළි විකාරය නවත්වා දමනු ඇත. මන්ද යත් ඡේසුස්‌ වහන්සේ යනු මෙලොව විසූ ඉතා ම විශිෂ්ට ගණයේ පරිසරවේදියකු බැවිනි. එතුමා සොබාදහම මිනිසා වෙනුවෙන් රැකගත යුතු යෑයි දැඩි ලෙස විශ්වාස කළ කෙනෙකි. එහෙයින් පරිසරය වනසන්නන්ට උන්වහන්සේ ගෙන් කිසිදු සමාවක්‌ නො ලැබෙනු ඇත. එසේ ම ආගමික ප්‍රතිපත්ති වාණිජත්වයට යට වීම උන්වහන්සේ දැඩි සේ පිළිකුල් කළේ ය. එහෙයින් රතිඤ්ඤා නිලා අහස්‌ කූරුවලින් නත්තලේ අගය පිළිස්‌සීම ගැන ද උන්වහන්සේ කිපෙනු ඇත.

මෙලෙස දවනු ලබන රතිඤ්ඤා, නිලා, අහස්‌කූර, චීනපටස්‌ ආදී එකී නො කී ගිනි කෙළි නිසා කොපමණ නම් විෂ වායු ප්‍රමාණයක්‌ පරිසරයට එක්‌ වනවා ඇත් ද? රජය උනන්දු වන්නේ ගිනිකෙළි වර්ගවල ඇති රසායනික ද්‍රව්‍ය මගින් පිපිරීම් අනතුරු වනවා දැයි බලන්නට පමණි. මේ ගිනිකෙළිවල ලෙඩ්, මර්කරි, ඇලුමිනියම්, කැඩ්මියම් මෙන්ම විකිරණශීලී බේරියම් ද අඩංගු වේ. පොලිතීන් පිළිස්‌සීමට එරෙහි ව අදාළව නීති ගෙන එන්නට මධ්‍යම පරිසර අධිකාරියට හැකි වුවත් රතිඤ්ඤාවලට අදාළව එවැනි නීතියක්‌ පැනවීම පහසු නො වනු ඇත. මන්ද යත් සංස්‌කෘතිය නම් වූ බාධකය ඉදිරියට එනු ඇත. සංස්‌කෘතික උත්සවයක දී භාවිතයට ගැනෙන දෙයක්‌ නිසා විෂ වායු නිකුත් කළත් රතිඤ්ඤාවලට අත තබන්නට දේශපාලන බලධාරීන් අකැමැති වනු ඇත.

අපේ රටේ කුණු පිළිස්‌සීම මෙන්ම රතිඤ්ඤා පත්තු කිරීම ද සමාජ තරාතිරම නො තකා සිදු වන දෙයක්‌ බව පෙනේ. වත්තේ කුණු පුළුස්‌සන අය අතර ද ඉතා නූගත් පුද්ගලයෝ මෙන් ම ඉහළ අධ්‍යාපන සුදුසුකම්ලත් මධ්‍යම පාංතිකයෝ ද වෙති.

එහෙත් වෙනත් රටවල් සැලකූ කල මේ තත්ත්වය වෙනස්‌ බව පෙනේ. ඇතැම් යුරෝපීය රටවල මෙවැනි කුණු පිළිස්‌සීම් ගැන අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි (කෙසේ වෙතත් සමහර යුරෝපීය රටවල් ද අප ගේ තරමට ම විවෘත පරිසරයේ කුණු පිළිස්‌සීමට පෙලඹී සිටී). රතිඤ්ඤා හා වෙනත් ගිනිකෙළි පත්තු කිරීමට අදාළව නම් අපටත් වඩා ඇතැම් බටහිර රටවල තත්ත්වය නරක ය. ඇමෙරිකාවේ නිදහස්‌ දිනය යෙදී ඇති ජූලි 04 වැනි දාට ප්‍රධාන නගරවල පත්තු වන ගිනිකෙළි ප්‍රමාණය අතිශය ඉහළ එකකි. Atmospheric Enviroment ජර්නලයට අනුව 2015 ජූලි 04 දා ඇමෙරිකාවේ ප්‍රධාන නගර කීපයක ම PM 2.5 අංශු ප්‍රමාණය වායුගෝලයේ තිබිය යුතු ප්‍රමාණය සියයට 370කින් ඉක්‌මවා තිබිණි.

උක්‌ත අධ්‍යයනය මෙහෙයවූ ඇමෙරිකාවේ ජාතික සාමුද්‍රික හා වායුගෝලීය කළමනාකරණායතනයේ කාලගුණ විද්‍යාඥ Dian Seidel තම අධ්‍යයනය ගැන මෙසේ පවසයි.

"බොහෝ දෙනෙක්‌ වායු දූෂණයට අදාළව හිතන්නෙ ලොකු කම්හල් හා පාරේ දුම් දදා දුවන පරණ වාහන ගැන විතරයි. තමන් පත්තු කරන හෝ අනුන් පත්තු කරන ගිනි කෙළි ගැන හිතන්නේ නැහැ."

ඔහු ගේ අධ්‍යයනයේ දී හෙළි වූ වැදගත් කරුණක්‌ වූයේ ජූලි 04 වැනි දා සමස්‌ත ඇමෙරිකාව පුරා ම වායු දූෂණයේ ප්‍රමාණය (විශේෂයෙන් ම 2.5 PM) සියයට 42කින් ඉහළ යන බවයි.

එසේ ම ගිනි කෙළි භාවිතයේ දී ජීවිත හා දේපළ ආරක්‌ෂක කරුණු ගැන මිස පාරිසරික කරුණු ගැන බහුතරය අවධානය නො දක්‌වන බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි. හාවඩ් විශ්වවිද්‍යාලයයේ පාරිසරික වසංගතවේදය පිළිබද මහාචාර්ය Joel Schwartz පෙන්වා දෙන්නේ පහළ මට්‌ටමේ දී දවන ගිනිකෙළි මගින් අවදානම ඇති වන්නේ ගිනිකෙළි දහනය කරන හා ඒ අසල සිටින අයට වුවත් ඉහළ දී දහනය කරන ගිනිකෙළිවල අවදානම පෙරයීම් කරන්නට නොහැකි ස්‌ථානවලට පවා ළගා විය හැකි බවයි. විශාල ඉහළක මේවා නො දල්වන නිසා සුළං සමග විෂ දුම් පහළට එන බව ද ඔහු පෙන්වා දෙයි. මහාචාර්ය Schwartz අනුව දීර්ඝ ලෙස ගිනිකෙළි ධූමයට නිරාවරණය වීම ශ්වසනාබාධ ඉහළ නංවයි. එසේ ම පෙනහලු ආබාධවලින් දැනටමත් පීඩා විදිමින් සිටින අයට ඒ ආබාධ මාරාන්තික තත්ත්වයට උත්සන්න කරවීමට මේ ධූමයන් හේතු වේ. කෙනකු ගිනිකෙළි සංදර්ශන නැරඹීමට ප්‍රිය කරනවා විය හැකි මුත් සුළං හමන දෙසට මුහුණ ලා ඒවා නැරඹීම අතිශයින් අහිතකර බව මහාචාර්ය Schwartz පවසයි.

ආලෝකයේ අදුර

'ආලෝකයේ උත්සවය' යනුවෙන් හැදින්වෙන දීවාලීවලට ද මිනිස්‌සු ගිනිකෙළි විශාල ලෙස භාවිත කරති. දීවාලිවල දී ගිනිකෙළි භාවිතයෙන් වන වායු දූෂණය ගැන අධ්‍යයනයක්‌ බටහිර බෙංගාල විශ්වවිද්‍යාලයයේ දෙබස්‌කාර් චක්‍රබෝර්ති ඇතුළු පිරිස විසින් කරනු ලැබ ඇත.

Air pollution from fire works during Dewali මැයෙන් වූ එම අධ්‍යයනය මගින් පෙනී ගියේ දීවාලී දිනයේ Salkia නම් නගරයේ SPM (Suspended Particulate Matter) අංශු හා PM (Particulate Matter) අංශු ප්‍රමාණය අන් දිනවලට සාපේක්‍ෂව හය ගුණයකින් පමණ ඉහළ බව ය. එසේ ම පරිසරයේ SO2 හා NO2 සාන්ද්‍රණයන් සාපේක්‌ෂව ඉහළ බව ද මේ අධ්‍යයනය පෙන්වා දෙයි. වායුගෝලයේ පවතින Ba,Cu,Pb,Hg,Cd,Al ආදියෙහි සාන්ද්‍රණයන් ද මේ දිනවල සාපේෂව ඉහළ බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. මේ පිළිබද තොරතුරු පළ ව ඇත්තේ Atmosfera ජර්නලයෙහි ය.

මේ පර්යේෂකයන් තම අධ්‍යයනය සදහා තෝරාගත් Salkia ප්‍රදේශය කොල්කටාහි පිහිටියකි. අදාළ ප්‍රදේශයෙන් සාම්පල එක්‌ කිරිම දීවාලි දිනට පෙර දින හා පසු දින කරන ලදි. මේ අධ්‍යයනයෙහි යෝජනාවක්‌ ලෙස පර්යේෂකයන් රජයෙන් ඉල්ලා සිටියේ ගිනිකෙළිවලින් නිකුත් කරන හානිකර ද්‍රව්‍යවලට අදාළව ප්‍රමිතියක්‌ ප්‍රකාශයට පත් කරන ලෙසයි.

දීවාලි උත්සවය සම්බන්ධයෙන් කෙරුණ උක්‌ත අධ්‍යයනය ගැන සදහන් කරන විට සදහන් කළ යුතු ම තවත් කරුණක්‌ තිබේ.

එ නම් දීවාලි උත්සව කාලයේ දී දිල්ලියේ ගිනිකෙළි අලෙවිය තහනම් කරන්නට ඉන්දියානු අධිකරණය කටයුතු කළ බවයි. එහෙත් අන්තිමේ දී ආගමික නායකයන් මේ අධිකරණ මතයට එරෙහි ව උත්සව දිනයේ රතිඤ්ඤා පත්තු කරන්නට ජනතාව පොලඹවා තිබිණි. අධිකරණය මේ නීතිය පනවා තිබුණේ දීවාලී දිනය වන විට නගරයේ දුමාරය 18%කින් ඉහළ ගොස්‌ තිබු බව පරිසර සංවිධාන විසින් දැනුම් දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

දීවාලි යනු ආලෝකයේ උත්සවයක්‌ නිසා රතිඤ්ඤා තහනම් කිරීම නුසුදුසු බව ඇතැම් ඉන්දියානුවන් ගේ මතයයි. එහෙයින් මධ්‍යස්‌ථ මතධාරී හින්දූන් ම පවසා සිටින්නේ දීවාලිය හරිත උළෙලක්‌ කිරීම සදහා ගිනිකෙළි තහනම කදිම ප්‍රවේශයක්‌ බව ය. කෙසේ වෙතත් මධ්‍ය ප්‍රදේශ් මහ ඇමති මෙහි දී නරක පූර්වාදර්ශයක්‌ දුන්නේ අපේ රටේ දේශපාලනය සිහිගන්වමිනි.

"එහෙම කොහොම ද උසාවිය දීවාලිවලට රතිඤ්ඤා පත්තු කිරීම නවත්වන්නේ. මේක පුරාණ සම්ප්‍රදාය. මුලින් ම මං පත්තු කරනවා. කවුරුත් බය වෙන්න එපා"යි කී ඔහු දීවාලී දින රැයේ ප්‍රසිද්ධියේ රතිඤ්ඤා පත්තු කළේ ය. මෙය දිල්ලියේ රතිඤ්ඤා තහනම සමච්චලයට ලක්‌ කිරීමේ ක්‍රියාවක්‌ ලෙස මධ්‍යස්‌ථ විචාරකයෝ දකිති. පරිසරය සම්බන්ධයෙන් නීතියක්‌ පැනවූ කල දේශපාලකයන්ට හෝ වෙනත් සංවිධානවලට හෝ ඒවා මගහැර යැමට හැකි වීම කෙතරම් අභාග්‍යයක්‌ ද?

පහත විස්‌තර කෙරෙනුයේ පොලිතීන් ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීමට අදාළව ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයක්‌ පිළිබදව ය. 2016 දී සිදු කරන ලද මේ අධ්‍යනය පිළිබදව Procedia Environmental Sciences ජර්නලයේ පළ වී තිබේ.

Toxic Pollutants from Plastic Waste මැයෙන් වූ මේ අධ්‍යයනය සිදු කර තිබුණේ බැංගලෝර් විශ්වවිද්‍යාලයයේ Rinka Uerma ඇතුළු පිරිස ය. මේ අධ්‍යයනයේ දී පර්යේෂකයන් යළිත් වරක්‌ තහවුරු කර සිටියේ පොලිතින් ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීමේ දී ඩයොක්‌සීන (Dioxin) බහුලව නිදහස්‌ වන බවයි.

මීට අමතර ව Pyrene හා Chrysene ද Polychlorinated Biphenyls හා Furnas මෙන්ම මර්කරි ද පරිසරයට නිකුත් වීමට මේ ප්ලාස්‌ටික්‌ පිළිස්‌සීම් හේතු වන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. ප්ලාස්‌ටික්‌ කසළ දහනය මඟින් ශ්වසනාබාධ හා හෘදයාබාධ ඉහළ යන්නට ඉඩ ඇති බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.

ඔවුන් ගේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති වැදගත් කරුණක්‌ වන්නේ ඉන්දියාවේ එකතු වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍යවලින් බහුතරය පිළිස්‌සීමට බඳුන් කෙරෙන බව ය. එසේ ම පොලිතින් හා ප්ලාස්‌ටික්‌ නිරවද්‍ය ලෙස ප්‍රතිචක්‍රීකරණය නො කෙරෙන බවත් හෙළි වේ. එක්‌කෝ කුණු මෙලෙස විවෘත පරිසරයේ පුළුස්‌සා දැමීම හෝ වගුරුබිම් පිරවීම සඳහා යොදාගැනීම සිදු කෙරෙන බවත් එම අධ්‍යයනය පෙන්වා දෙයි.

කැනඩාවේ Sonnevera ආයතනය විසින් 2013 දී සිදු කරන ලද Agricultural Waste Study නමින් වූ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇත්තේ කෘෂිකාර්මික කටයුතුවල දී භාවිතයට ගැනෙන පොලිතින් බොහෝ විට පාවිච්චියෙන් පසු විවෘත පරිසරයේ පුළුස්‌සා දැමෙන බවයි. එසේ ම එමඟින් ශ්වසන රෝග හා හෘද රෝගවලට ජනතාව ගොදුරු වීමේ අවදානමක්‌ ඇති බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි. ඩයොක්‌සීනවලට අමතරව බෙන්සින්, ටොලුවීන්, එතිල් බෙන්සීන් ස්‌ටයිරින්, ෂයිලීන්, (Xylene) කාබන් මොනොක්‌සයිඩ් ද පොලිතින් පිළිස්‌සීමෙන් පරිසරයට එක්‌ වන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

හංගේරියාවේ Szechenyi Istvan විශ්වවිද්‍යාලයයේ තාක්‌ෂණ විද්‍යා පිළිබඳ මහාචාර්ය Raymund Kuti ඇතුළු පිරිස විසින් 2016 දී ප්ලාස්‌ටික්‌ කසළ දහනය ගැන ඉතා ඵලදායී අධ්‍යයනයන් සිදු කරන ලදී. එහි දී පර්යේෂකයන් පෙන්වා දුන්නේ හංගේරියාව තුළ විවෘත පරිසරයේ ප්ලාස්‌ටික්‌ පොලිතින් දහනය තහනම් වන නමුත් සැලකිය යුතු ප්‍රතිශතයක්‌ තවමත් එය සිදු කරන බවයි. හංගේරියාවේ ප්ලාස්‌ටික්‌ පොලිතින් දහනය සම්පූර්ණයෙන් තහනම් වන අතර එය සිදු කරන්නට අවසර ඇත්තේ ලියාපදිංචි ආයතන කීපයකට පමණි. මේ නීතිය උල්ලංඝනය කරන පුරවැසියන්ට දඩගැසීමක්‌ සිදු වුව ද ඒ දඩගැසීම් නො තකා ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශවල ද ජනතාව පොලිතීන් පිළිස්‌සීමේ යෙදෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නීති පැනවුව ද හංගේරියාවට තවමත් තමන් අපේක්‍ෂිත ප්‍රතිඵල කරා ළගා වන්නට නොහැකි වී ඇති බව මින් පෙනී යයි. හංගේරියානු රජය පොලිතින් පිළිස්‌සීමට අදාළ නීති ප්‍රකාශයට පත් කර තිබුණත් ඒ නීතිය ගැන බහුතර පුරවැසියන් දැනුවත් නැති බව උක්‌ත අධ්‍යයනය පෙන්වා දෙයි. (මෙය අප රටේ ස්‌වභාවය ද පිළිබිඹු වන අධ්‍යයනයක්‌ බව පෙනේ).

හංගේරියාව තුළ PVC බහුලව භාවිත වන අතර ඒවා දහනයෙන් නිකුත් වන අහිතකර රසායන ද්‍රව්‍ය පිළිබද වාර්තාවක්‌ ද පර්යේෂණයේ ඉදිරිපත් කරති. ඒවා නම් ඇසිටල්ඩිහයිඩ්, බෙන්සල්ඩිහයිඩ් හා පොසිජීන් ය. පොස්‌ජින් යනු දෙවැනි ලෝක යුද්ධයේ දී සතුරු හමුදා මර්දනයට රසායනික අවියක්‌ ලෙස භාවිත කළ වායුවකි. මේ භයානක වායුව ශ්වසන පද්ධතියට මෙන්ම රුධිර සංසරණයට ද බාධා පමුණුවයි. බොහෝ දෙනකු නො දන්නා දෙයක්‌ වන්නේ ප්ලාස්‌ටික්‌ දහනයේ දී මේ හානිකර වායුව මුක්‌ත විය හැකි බවයි.

අග්නි උත්සව හා වායු දූෂණය

ඇතැම් බටහිර රටවල Bonfire night ලෙස හැදින්වෙන "අග්නි උත්සව" පැවැත්වේ. මෙ වැනි අග්නි උත්සව අප රට තුළ ප්‍රචලිත ව නො තිබීම සතුටට කරුණකි. බාලදක්‌ෂ ජම්බෝරිවල ගිනි මැළ ගසන මුත් ඒවා බටහිර රටවල පැවැත්වෙන Bonfire night තරම් පරිසර හානිකර නො වේ.

මේ Bonfire night ඉතා සුලබ බ්‍රිතාන්‍යයේ ය. බ්‍රිතාන්‍යයන් හැම වසරක ම නොවැම්බර් 05 වැනි දා Bonfire night පවත්වන්නේ 1605 නොවැම්බර් 05 දා එංගලන්තයේ රජුට එරෙහි ව සිදු වූ අසාර්ථක කුමන්ත්‍රණය සිහි ගන්වන්නට ය.

අපේ රටේ මෙවැනි දිනයක්‌ උත්සව ලැයිස්‌තුවේ නැතත් වටපිට බලන විට පෙනෙන්නේ ලංකාවේ මිනිසුන්ට එළැඹෙන හැම දිනයක්‌ ම Bonfire උත්සව දිනයක්‌ බව ය. අපේ අය ඒ තරමට ම කුණු පිළිස්‌සීමට උනන්දු වෙති.

කෙසේ වෙතත් වර්තමානයේ දී යුරෝපය තුළ මේ Bonfireවලට අදාළව නව නීති රැසක්‌ හදුන්වා දී තිබේ. එයට හේතුව සමහරුන් උත්සවයක මුවාවෙන් ගෙදර වත්තේ කුණු පුළුස්‌සන්නට මෙය අවස්‌ථාවක්‌ කරගැනීමයි. එනිසා මේ ගිනි දැල්වීම් තුළට ප්ලාස්‌ටික්‌ පොලිතීන් මෙන්ම ප්‍රතිකාර කරන ලද දැව ද යොදාගැනීම තහනම් කර ඇත.

මේ Bonfire Night ගිනි උත්සව කෙතරම් පරිසර හානිකර දැයි කිව හොත් බ්‍රිතාන්‍ය රජය පසුගිය දා කියා සිටියේ මුළු රටේ ම පවතින දාහක (incinerator)වලින් නිකුත් වන හානිකර වායුන් ප්‍රමාණයට වඩා Bonfire night වලින් වන හානිය වඩාත් වැඩි බවයි. මන්ද යත් මේ දිනයේ දී වාණිජ අරමුණු සහිත සංවිධාන නගරවල මල්වෙඩි සංදර්ශන පවත්වන අතර නිවැසියෝ තම මිදුලේ හෝ උද්‍යානයේ දර හෝ වෙනත් දේ පුළුස්‌සමින් සතුටු වෙති.

ලන්ඩනයේ කිංග්ස්‌ කොලේඡ්හි වායු දූෂණය පිළිබද කථිකාචාර්ය ආචාර්ය Gay Fulller පවසන්නේ ලන්ඩනයේ වායු දූෂණය සදහා මේ Bonfire දින සැමරුම් විශාල ලෙස බලපෑ ඇති බවයි.

කෙසේ වෙතත් මේ Bonfire Night දිනයේ දී ප්‍රසිද්ධියේ ගිනිකෙළි දැල්වීම හා පොලිතීන් වැනි දේ දැල්වීම තහනම් කරන්නැයි පසුගිය දා ලන්ඩනයේ දී උද්ඝෝෂණයක්‌ ද පැවැත්විණි. පරිසර දූෂණය ගැන මෙන් ම බල්ලන්ට හා පූසන්ට වන කරදර ගැන ද මෙහි දී අවධානය යොමු කර තිබිණි.

නීතිය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රනය කෙබදු ද?

පොලිතීන් පිළිස්‌සීමට අදාළ පනතක්‌ අප රටේ ගැසට්‌ පත්‍රයක්‌ මගින් එළිදක්‌වා තිබුණ ද එම නීතිය ක්‍රියාත්මක වීමට අදාළ යාන්ත්‍රණය කුමක්‌ ද යන්න ගැන පොදු ජනතාවට ගැටලුවක්‌ තිබේ. මන්ද යත් පොලිතීන් විකුණන අලෙවිසල් වටලන ක්‍රමවේදයක්‌ ගැන මධ්‍යම පරිසර අදිකාරිය පවසා සිටිය ද පොලිතින් පුළුස්‌සන්නන් අල්ලන ක්‍රමවේදයක්‌ ගැන විස්‌තර කෙරී නැති බැවිනි. එහෙයින් අපි මේ පිළිබද පරිසර පොලීසියේ සහකාර පොලිස්‌ අධිකාරි මනෝඡ් පෙරේරා මහතා වෙතින් විමසා සිටියෙමු.

ඔහු පැවසුවේ එවැනි වැටලීමක්‌ කරන්නට පොලීසිය සතු ව සෘජු බලයක්‌ නොමැති බවයි. යම් විදිහකින් මධ්‍යම පරිසර අධිකාරිය එවැනි වැටලීමක්‌ සදහා ආරක්‌ෂාව හෝ සහාය හෝ ඉල්ලා සිටිය හොත් එය ලබා දිය හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ ය.

කෙසේ වෙතත් පොලිතීන් විවෘත පරිසරයේ පිළිස්‌සීම නිසා යමකුට හිරිහැරයක්‌ වේ නම් ඒ ගැන පොලීසියට පැමිණිලි කළ විට මහජන පීඩාවට අදාළ ප්‍රතිපාදන යටතේ ඒ ගැන විමර්ශන කළ හැකි බව ද ඔහු දැන්වී ය.

මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරියකු විදුසර හා කියා සිටියේ පොලිතීන් පුළුස්‌සන පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර දීමට යාන්ත්‍රණයක්‌ ඉදිරියේ දී ගොඩනගන බවයි.

ප්ලාස්‌ටික්‌ තුළින් මතු වන පොසිජීන් මාරයා දුටුවා ද?

ප්ලාස්‌ටික්‌ එළිමහනේ පිළිස්‌සීම සදහා ලබා දෙන දඩුවම් ප්‍රමාණවත් නො වන බව හැගී යන්නේ පොසිජින් පිළිබදව විමසා බලන විට ය. මන්ද යත් සමහර විට ඔබ එළිමහනේ පුළුස්‌සා දමන්නේ ඔබට ම හෝ ළග සිටින කෙනකුට හෝ මරණය ළං කරන දෙන පොසිජින් නිකුත් කිරීමට සමත් ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ විය හැකි බැවිනි. පොසිජින් යනු අතිශයින් විෂ සහිත වර්ණ රහිත වායුවකි.

Arvind Kumar Vaisa ඇතුළු පිරිස විසින් සිදු කරන ලද මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Journal of Emergencies Trauma and Shock හි පළ විය. අධ්‍යයනයේ දී හෙළි වූයේ පොලිතීන් දහනයෙන් නිකුත් වන පොසිජින් වායුවට නිරාවරණය වීමෙන් බරපතළ ශ්වසන ආබාධවලට කෙනකු ගොදුරු විය හැකි බවයි. පොසිජින්වල ඇති භයානකකම වන්නේ එහි අවදානම් ලක්‌ෂණ පහළ වන්නේ වායුවට නිරාවරණය වීමෙන් සැලකිය යුතු කාලයකට පසුව වීමයි. සමහර විට මෙය පැය 4 සිට එක්‌ දිනක්‌ දක්‌වා දික්‌ වූ කාලයක්‌ විය හැකි ය. සමහර විට ලොකු අපහසුවක්‌ නො දැනෙන නිසා කෙනකු පොසිජින් දුම් සහිත තැනකින් ඉවත් නො වී දිගට ම රැෙදන්නට ද ඉඩ තිබේ. පොසිජින් බහුල ව ම නිකුත් වන්නේ PVC දහනයේ දී ය. PVC දහනයේ දී ඉතා ම භයානක මට්‌ටම්වලින් පොසිජින් නිකුත් වන බව Anderue
Bjerre විසින් කරන ලද අධ්‍යයනයන්හි ද හෙළි ව ඇත. මේ අධ්‍යයනයට අදාළ තොරතුරු ඔයෑ The Anals of Occupational Hygiene හි පළ විය.

ඩයොක්‌සින් හා ප්ලාස්‌ටික්‌ දහනය

ප්ලාස්‌ටික්‌ දහනයේ දී නිකුත් වන සුප්‍රකට අහිතකර රසායන ද්‍රව්‍යයක්‌ වන්නේ ඩයොක්‌සීන් ය. ඩයොක්‌සීන් හේතු කොටගෙන ප්‍රතිශක්‌තිකරණය හීන වීම, වන්ධ්‍යතාව, හෝමෝන ආබාධ, ශ්වසන ආබාධ ආදිය ඇති වේ. (ප්ලාස්‌ටික්‌ මෙන්ම Pentachlorophenol ප්‍රතිකාරය සිදු කරන ලද දැව දහනයේ දී ද සමහර කඩදාසි දහනයේ දී ද ඩයොක්‌සීන නිකුත් වේ.)

ඩයොක්‌සීන් මිනිසුන් තුළ DNA වෙනස්‌කම් ඇති කිරීමට ද, පිළිකා ඇති කිරීමට ද හේතු වේ. ඊට අමතරව අන්තරාසර්ග පද්ධතියේ රෝග සදහා ද එය හේතු වෙයි.

විවෘත පරිසරයේ ප්ලාස්‌ටික්‌ පොලිතින් දැවීම මගින් මෙන් ම බැරල් තුළ කුණු පිළිස්‌සීමෙන් ද ඩයෝක්‌සීන් ජනිත වේ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ
පාරිසරික විද්‍යාව පිළිබද බාහිර කථිකාචාර්ය
මනෝඡ් ප්‍රසන්න රත්නායක