logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පැසිෆ්ලෝරා (Passiflora) ඛ ගණයේ ඖෂධීය වටිනාකම

Passifloraceae කුලය යටතේ ඇති Passiflora ගණයට ශාක විශේෂ 500ක්‌ පමණ අයත් වන අතර මේ ශාක උණුසුqම් සහ නිවර්තන කලාපවල ව්‍යාප්ත වී ඇත. Passiflora නාමය 1529 දී ලතින් භාෂාවෙහි 'Passio' නම් වචනයෙන් බිඳී ආ එකකි. එය භාවිත කරනු ලැබුවේ "කිතුනුවන් ගේ නිතැතින් ම වූ භක්‌තියෙහි" සංකේතයක්‌ ලෙස බව විස්‌තර කර ඇත.

Passifloraceae කුලය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත ව ඇති ගණය පැෂන් හෙවත් වැල් දොඩම් (Passiflora edulis) ය. සමහර විශේෂ පඳුරු වන අතර තවත් විශේෂ පැළෑටිවලින් සමන්විත ය.

P. edulis (වැල් දොඩම්), P. foetida (පඹවැල්), P. quandrangularis (රටපුහුල්) සහ P. suberosa (වල් කෝවක්‌කා) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත ව ඇති Passiflora විශේෂ වේ.

Passiflora විශේෂවල අඩංගු රසායනික සංඝටකයන් පිළිබඳව තවම හරිහැටි සොයාගෙන නොමැත. දැනට කර ඇති පර්යේෂණ අනුව Passiflora විශේෂවල ඇල්කලොයිඩ (Alkaloids) සංඝටක වන Hamane, Hamaline හා Hamol ද, ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සංඝටක වන Apigenin , Luteolin , Scopoletin සහ Benzoflavone දැනට හඳුනාගෙන ඇති ශාක රසායනික සංඝටකයන් වේ. තව ද මේ විශේෂයන්හි බොහෝ ඖෂධීය වටිනාකම් හඳුනාගෙන ඇත.

මෑතක දී පළ වූ වාර්තාවලට අනුව P. incarnata විශේෂයෙන් ලබාගන්නා සංඝටකයක්‌ වන Benzoflavone (B2F), දැනට ලොව පුරා විශේෂයෙන් ම තරුණ පරම්පරාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීගෙන යන මත්ද්‍රව්‍ය වන ගංජා, කැනබිඩ්, මරිජුවානා, හෂිස්‌ භාවිතයෙන් ඉවත් වීමේ දී ඇති වන අතුරු ආබාධ විශාල ලෙස මඟහරවාගැනීමට උපකාර වී ඇත. මේ පර්යේෂණ තවමත් ළදරු අවධියේ පැවතියත් B2F මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලට ප්‍රතිකාර කිරීමේ දී ඉතා වැදගත් ඖෂධයක්‌ ලෙස පෙන්වා දී ඇත.

තව ද P. incarnata විශේෂයෙන් ලබාගන්නා B2F සංඝටකය, එතිල් ඇල්කොහොල්වලට ඇබ්බැහි කරන ලද මීයන් හට ලබා දුන් විට B2F ප්‍රතිකාරය ලද මීයන් මත්පැන් ඇබ්බැහි වීමට ප්‍රතිකාර කිරීමේ දී ඉතා සාර්ථකව මත්පැනින් ඉවත් වනු දැකගත හැකි විය. මේ නිසා B2F හෝ P. incarnata නිස්‌සාරණය මත්පැන්වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමේ දී සුරක්‌ෂිත විකල්ප ඖෂධයක්‌ ලෙස භාවිත කළ හැකි බව සඳහන් වේ.

වර්තමානයේ අපස්‌මාරය සඳහා භාවිත කරන ඖෂධවල විෂ සහිත අතුරු ආබාධ දක්‌නට ලැබේ. එනමුදු මෑතක දී කරන ලද පර්යේෂණවලට අනුව B2F අපස්‌මාරයට ප්‍රතිකාර කිරීම සඳහා ද සාර්ථක ලෙස යොදාගත හැකි වී ඇත.

බොහෝ Passiflora ශාක විශේෂ, විශේෂයෙන් ම පැෂන් පුෂ්පය සහ P. suberosa පත්‍ර ක්‌ෂුද්‍ර ජීවීන්ට එරෙහි ව ක්‍රියා කරන බව පෙන්වා දී ඇත. මේ පුෂ්ප සහ පත්‍ර නිස්‌සාරණයන් දැනට ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන Gram negative හා Gram positive බැක්‌ටිරියාවන්ට සහ දිලීරවලට එරෙහි ව ඉතා සාර්ථක ඖෂධයක්‌ ලෙස භාවිත කළ හැකි ය.

P. edulis, P. nitida , P. suberosa සහ P. palmeri නිස්‌සාරණ, ඉතා ඉහළ ප්‍රති ඔක්‌සිකාරක ගුණ පෙන්වන DPPH‍ මුක්‌ත ඛණ්‌ඩක ඉවත් කිරීමට සමත් බව පරීක්‌ෂණ මඟින් පෙන්වා දී ඇත.

Passiflora විශේෂයන්හි පත්‍රවල ජලීය නිස්‌සාරක ඉතා වැදගත් ප්‍රතිප්‍රදාහක ගුණයන් සමන්විත බව පෙන්වා දී ඇත. විශේෂයෙන් ම මේ නිස්‌සාරණ මීයන් හට ලබා දුන් විට ඔවුන් ගේ ප්ලූරා තරලයට සුදු රුධිරාණු ඇතුළු වීම නිෂේධනය වූ අතර ප්‍රදාහයන්ට අනුබල දෙන TNF - α, I L -1α ප්‍රොaටීන මට්‌ටම්වල අඩු වීමක්‌ දක්‌නට ලැබිණි.

විවිධ Passiflora විශේෂවල පලතුරු කසායන් අර්බුද (tumor)වලට ප්‍රතිරෝධී ක්‍රියාකාරිත්වය පෙන්වා ඇත. මේ කසායන් අර්බුදමය (tumor) පටක ආක්‍රමණයන්, ස්‌ථානන්තරණය (metastasis-පිළිකාවක්‌ එය හටගත් ස්‌ථානයෙන් බැහැර වෙනත් පටකවලට ද ව්‍යාප්ත වීම) සහ රුධිරවාහිනී ජනනය නිෂේධනය කරන අතර මෙය අර්බුද (tumor)වලට ප්‍රතිරෝධී ක්‍රියාකාරිත්වයට කදිම සාධකයකි.

ඉහත කී ඖෂධීය ගුණයන්ට අමතරව සමහර Passiflora විශේෂ උදා: P. suberosaල සෛල නාශක ගුණය (මෙය පිළිකා ප්‍රතිකාරයක්‌ වේ) සහ තුවාල සුවපත් කිරීමේ ගුණය පෙන්වයි.

සාමාන්‍යයෙන් Passiflora පුෂ්ප සහ පත්‍ර අතුරු ආබාධ රහිත වුවත් මෙය තවදුරටත් පරීක්‌ෂාවට ලක්‌ කළ යුතු ව ඇත.

මේ සියලු කරුණු දලකා බැලීමේ දී අප හට නුදුරු අනාගතයේ දී Passiflora ගණයට අයත් ශාකවලින් නිෂපාදිත නවීන චිකිත්සක ඖෂධ වෙළෙඳපොළෙහි දී දැකගත හැකි වනු ඇතැයි අපේක්‌ෂා කළ හැකි ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ උප සභාපති මහාචාර්ය දිනිති පීරිස්‌

(සත්ත්ව විද්‍යා අංශය, (ශාක ද්‍රව්‍ය පර්යේෂණ මධ්‍යස්‌ථානය) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)