logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බැටරි ප්‍රතිචක්‍රීකරණයේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු

ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පී වින්සන්ට්‌ වැන්ගෝ මිය ගියේ දිවිනසාගැනීමකිනි. එහෙත් ඔහු ගේ දිවිනසාගැනීමට පාදක වූ කරුණු හා ඔහුට ජීවත් ව සිටි කාලයේ දී ඇති වූ රෝග කෙරෙහි බැර ලෝහයක්‌ වූ ඊයම් (ලෙඩ්) බලපෑ බව වැඩි දෙනකු නො දන්නා කරුණකි. ඔහු ගේ උමතුව ඔහු ගේ මරණයට හේතුව බව බොහෝ දෙනා පවසතත්, ඒ උමතුව කෙරේ ද ඊයම් බලපා ඇති බව ඒ අය නො දනිති.

ස්‌පාඤ්ඤයේ Salamanca විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Gonzalez Luque ඇතුළු පිරිස විසින් කරන ලද The Materials of Painting in the Cause of Psychopathology of Van Gogh නම් අධ්‍යයනයෙහි මේ කරුණ පිළිබද තොරතුරු ඇතුළත් ය. ඔහු ගේ මරණයට අනියම් ලෙස ඊයම් වගකිව යුතු බවත්, ඔහුට පැවැති විවිධ රෝගාබාධා රාශියකට ඊයම් සෘජු ව වගකිව යුතු බවත් මේ අධ්‍යයනය පෙන්වා දෙයි. ඔහුට මේ ඊයම් විෂ වීම ඇති වූයේ ඔහු ඊයම් සහිත බැටරි ගලවමින් වැඩ කළ නිසා නො ව ඊයම් අඩංගු සායම් වර්ග චිත්‍ර සදහා භාවිත කළ හෙයිනි. ඔහු ගේ සායම්වල සුදු පාට ලබා දෙන්නට භාවිත කර තිබුණේ ලෙඩ් කාබනේට්‌ ය. (සුදු ඊයම්). කහ පැහැය ලබා දෙන්නට ලෙඩ් අඩංගු සංයෝග බහුලව යොදාගෙන තිබිණි.

මේ සිද්ධිය සිහිපත් කළේ මෙතරම් සුළු වශයෙන් ඊයම්වලට නිරාවරණය වූ චිත්‍ර ශිල්පියකුට මරණීය ගැටලු ඇති කළා නම් නිරන්තරව ඊයම්වලට නිරාවරණය වීම කෙතරම් අනතුරුදායක ද යන්න ගැන අගවන්නට ය.

චිත්‍රශිල්පීන් ගේ පමණක්‌ නො ව මහා බලවත් අධිරාජයන් ගේ මරණ සමග ද ඊයම්, කැඩ්මියම්, ආසනික්‌ වැනි බැර ලෝහ විෂවීම් බැදී පවතියි. නැපෝලියන් ගේ මරණයට හේතුව ආසනික්‌ විෂ වීම යෑයි කියෑවේ. ආසනික්‌වලට අමතරව නැපෝලියන්ට ඊයම් විෂ වීම ද බලපා තිබූ බව ඇතැම්හු කියති. එංගලන්තයේ පළමු එළිසබෙත් රැජන ගේ මරණය සමග ද ඊයම් බැදී පවති. එළිසබත් රැජන 1603 දී මිය ගියේ ඊයම් විෂ වීමකින් බව හෙළි ව තිබේ. ඇය ඊයම් නිකුත් කරන වාහන දුවන පාරක අනාරක්‍ෂිතව ගමන් කළේ නැත. ඇය ගේ සිරුරට ඊයම් ඇතුළු ව තිබුණේ රූපලාවණ්‍ය ආලේපනවලිනි.

මේ කතා දෙක තුන සිහිපත් කරන්නට යෙදුණේ වයඹ පළාතේ එක්‌තරා බැටරි ප්‍රතිචක්‍රීකරණ කම්හලක්‌ ඊයම් පරිසරයට නිකුත් කරමින් ජනපීඩාවක්‌ සිදු කරන බවට ජනමාධ්‍යවල පළ වූ පුවතක්‌ පාදක කරගෙන ය. ප්‍රදේශයේ ජනතාව මෙන් ම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද වෙනත් රාජ්‍ය ආයතනවල බලධාරීන් ද මේ කම්හලට එරෙහි ව මත ප්‍රකාශ කර තිබෙනු ද දැකගත හැකි විය. මේ කම්හලේ සේවය කළ, ඒ හේතුව නිසා ම රෝගාබාධවලට ලක්‌ වූවා යෑයි කියන සේවකයන් ගේ දුක්‌ අෙදාaනා ද ඒ මාධ්‍යවල පිංතූරත් සමග ම පළ විය. එහෙත් තවමත් ඒ ගැටලුවලට විසදුම් ලැබී ඇති බව ද කියෑවේ.

දියුණු රටවල බැටරි ප්‍රතිචක්‍රිකරණයට ඉතා පුළුල් ලෙස සිදු කෙරෙන අතර එහි දී පරිසරයට වන හානි ගැන වාර්තා වන්නේ ඉතා ම කලාතුරකිනි. එයට මූලික හේතුව අදාළ රාජ්‍ය දේහ මගින් ඉතා දැඩි නිතී රීති ඒ අරභයා පනවා තිබීමයි.

වයඹ පළාතේ ඉහත විස්‌තර කරන ලද සිද්ධිය වෙත අවධානය යොමු කළ හොත් එය ද මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය මේ ව්‍යාපෘතිය සදහා ලද ආයතනයකි. එසේ වුව ද දැන් එම ආයතනයේ ක්‍රියාකාරීත්වයට අදාළ ව ගැටලුවක්‌ මතු ව තිබේ.

අදාළ කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා දුරකථනයෙන් සාකච්ඡා කරන්නට මේ ලේඛකයාට අවස්‌ථාව ලැබිණි.

මේ ඔහු ඒ ගැන කළ සදහනයි.

"මේ කර්මාන්තශාලාව තුළ ඊයම් විශාල උෂ්ණත්වයකට රත් කිරීම හා සිසිලනය කිරීම සිදු වනවා. ඒ ක්‍රියාවලියේ දී වගේ ම බැටරි ප්‍රවාහනයේ දී හා ගබඩා කර තැබීමේ දී හානිකර රසායන පරිසරයට නිකුත් වීම සිදු වනවා. මේ වගේ ස්‌ථානයකට බලපත්‍රයක්‌ දීම ගැන මා පුදුම වෙනවා. මේ කටයුත්තට එරෙහි ව යම් යම් සංවිධාන පැවරූ නඩු විභාගයට ගත්තත්, මට උසාවියේ දී කරුණු දක්‌වන්නට ඉඩක්‌ ලැබුණේ නැහැ. මා රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව පරිසර විශේෂඥයන් ගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන්න කියලයි."

ඔහුට අනුව මේ කම්හලෙන් අහිතකර රසායන ද්‍රව්‍ය නිදහස්‌ කරනවා පමණක්‌ නො ව ඊට එරෙහි ව රජය මැදිහත් වීමෙන් සාධාරණ පියවරක්‌ ගැනෙන්නේ ද නැත.

මේ කර්මාන්තශාලාව අවට ප්‍රදේශය පුරා ඉතා කුඩා ඊයම් අංශු පැතිර පවතින බවට ද එම අංශු ආශ්වාස කළ බොහෝ දෙනකු ශ්වසන ආබාධවලට ගොදුරු වන බවට ද කතාවක්‌ පවති. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙන් ම ප්‍රදේශයේ පෞද්ගලික සායන පවත්වන වෛද්‍යවරුන් කිහිප දෙනෙක්‌ ද මේ කම්හල අහිතකර රසායන පරිසරයට නිකුත් කරන බවටත් එනිසා ම ප්‍රදේශයේ ජනතාව රෝගවලට ගොදුරු වන බවටත් චෝදනා කරති. මේ රෝග තත්ත්ව ඇදුම රෝගයේ සිට විවිධ ශ්වසන ආබාධ හා ස්‌නායු රෝග දක්‌වා වූ සුවිශාල පරාසයක පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.

හොර බැටරි ප්‍රතිචක්‍රීකරණයත් ජයට ම

බොහෝ අය මෙතෙක්‌ කල් අසා ඇත්තේ හොර අරක්‌කු හොර හරක්‌ මස්‌ වැනි හොර ව්‍යාපාර ගැන ය. එහෙත් හොර බැටරි ප්‍රතිචක්‍රිකාරකයෝ ද සිටිති. මෙය අප රට පමණක්‌ මුහුණ දෙන ගැටලුවක්‌ නො ව ගෝලීය ගැටලුවකි. 2016 දෙසැම්බර් මාසයේ දී Enviromental Health ජර්නලයේ පළ වූ අධයයනයකින් කියෑවුණේ ඉන්දුනීසියාවේ මෙවැනි නීත්‍යනුකූල නො වන බැටරි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථාන 200කට වැඩියෙන් පවතින බවයි. B. Haryanto විසින් කරන ලද මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ එලෙස හොරට බැටරි ප්‍රතිචක්‍රිකරණයේ යෙදෙන්නන් නිසා අදාළ ප්‍රදේශවල පරිසරයට මෙන්ම ජනතාවට ද විශාල හානියක්‌ වන බවයි.

මෙවැනි නීත්‍යනුකූල නො වන ආකාරයෙන් පවත්වාගෙන යන බැටරි ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්‌ථාන ගැන 2003 සිට 2013 දක්‌වා වූ වසර 10ක කාලය තුළ මේ අධ්‍යයනය කළ අතර එහි දී පෙනී ගියේ ඒ ස්‌ථාන අවට සිටි පුද්ගලයන්ට අධි රුධිර පීඩනය (Hypertension), ශ්‍රවණාබාධ, වකුගඩු ආබාධ, වදභාවය වැනි ගැටලු ඇති ව තිබූ බවයි.

එසේ ම ඔවුන් එසේ නො වූ අයට සාපේක්‍ෂව වැඩියෙන් රක්‌තහීනතාව වැනි රෝගවලට ගොදුරු වූ බව ද හෙළි විය. එසේ ම මේ අය ගේ ආයු කාලය කෙටි වීමට ද මේ ඊයම්වලට නිරාවරණය හේතු වී තිබිණි.

ශ්‍රී ලංකාවේ මෙවැනි අධ්‍යයනයක්‌ සිදු ව නැතත් මේ ලේඛකයා හා සාකච්ඡාවේ යෙදුණ සෞඛ්‍ය බලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන්, විද්වතුන්, ප්‍රාදේශීය ජන ප්‍රධානීන් පවසා සිටියේ වයඹ පළාත තුළ ස්‌වයං රැකියාවක්‌ ලෙස බැටරි කඩා ලෙඩ් පිටතට ගෙන උණු කරන පුද්ගලයන් (කේවල) සැලකිය යුතු පිරිසක්‌ සිටින බව ය. පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ විජය කටුපොත වැනි ප්‍රදේශවල මේ ඊනියා ස්‌වයං රැකියාකරුවන් බහුල බව ද ඔවුහු පැවසූ හ. මෙය අතිශයින් ඛේදනීය තත්ත්වයකි. මන්ද යත් මෙය හොර අරක්‌කු පෙරීමේ කටයුත්තකටත් වඩා භයානක වැඩකි. හොර අරක්‌කු පෙරීමේ දී අරක්‌කු පෙරන්නා ගේ ශරීර සෞඛ්‍යට හානියක්‌ නො වේ. එහෙත් මෙහි දී බැටරි කඩන්නා ගේ සෞඛ්‍යයට ද හානියක්‌ සිදු වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ භූමිකාව

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඇතැමුන් මේ ප්‍රශ්නයේ දී ඇගිල්ල දිගු කරන බැවින් අපි මේ ගැටලුව ගැන විමසන්නට එහි උසස්‌ නිලධාරියකු ද සම්බන්ධ කරගත්තෙමු. එහි දී පෙනී ගියේ මධ්‍යම පරිසර අධිකාරිය මේ ප්‍රශ්නයේ දී සද්භාවයෙන් කටයුතු කරන්නට උපරිම වශයෙන් වෙර දරා ඇති බවයි.

උක්‌ත ආයතනය මගින් අදාළ කර්මාන්තය කරගෙන යැමේ දී ඒ සදහා අවශ්‍ය නිර්ණායක සැපයීම මෙන් ම ඒ සම්බන්ධ චෝදනා එල්ල වන විට මැදිහත් වී අවශ්‍ය උපදෙස්‌ ලබා දීම ද ඔවුන් සිදු කර ඇත. විශේෂයෙන් ම එහි නිලධාරීන් ජනතාව ගේ පාර්ශ්වයේ සිටිමින් මේ සිදු වන පරිසර හානිය වළක්‌වාගැනීමට අදාළ නියෝග නිකුත් කර ඇත.

පළාත් හා මධ්‍යම රජයේ කඹ ඇදිල්ල

කෙසේ වෙතත් වයඹ පළාත් සභාවට අදාළ වන සුවිශේෂ තත්ත්වයක්‌ ද මේ කරුණේ දී ගැටලු ඇති කරයි. එය නම් වයඹ පළාත් සභාව සතු ව වෙන ම පළාත් පරිසර අධිකාරියක්‌ පැවතීමයි. එම පළාත් පරිසර අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරියට සෘජුව ම වගකියන ආයතනයක්‌ නො වේ. උක්‌ත ආයතන හිමිකරුට බලපත්‍රය ලබා දෙනු ලැබ ඇත්තේ මෙහි සදහන් පළාත් පරිසර අධිකාරිය විසිනි. එහෙත් මේ අවසර දීමට මධ්‍යම රජයේ තාක්‍ෂණ සේවා සපයන ආයතනවල සහතික පාදක කරගෙන තිබේ. ගැටලුව වී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය යම් උපදෙසක්‌ මේ පළාත් පරිසර අධිකාරියට ලබා දුන්න ද එය පිළිපැදීම හෝ නො පිළිපැදීම හෝ ගැන තීරණයක්‌ ගන්නට පළාත් පරිසර අධිකාරියට බලය තිබීමෙහි ය. නීතිමය තත්ත්වය වන්නේ ද පළාත් සභාවට අදාළව සිදු වන කර්මාන්තවල පරිසර ගැටලු ගැන මූලික තීරණ ගැනීමේ අයිතිය පළාත් පරිසර අධිකාරිය සතු වීමයි. මෙය එක්‌ අතකින් පළාත් සභාවල ස්‌වයං නිර්ණ අයිතිය පිළිබද සාධනීය තත්ත්වයක්‌ වන අතර අනෙක්‌ අතට ගැටලු මතු කරන්නක්‌ ද වේ. අප රට තුළ පරිසරය සම්බන්ධයෙන් මෙවැනි ආයතනික ගැටුමක්‌ සම්බන්ධව පවතින එක ම උදාහරණය ද මෙය පමණි.

නීතියට පිටුපා නැහැ

මෙහි සදහන් කළ බැටරි ප්‍රතිචක්‍රීකරණ ආයතනයේ ප්‍රධානියා සමග ද සාකච්ඡා කිරීමේ අවස්‌ථාව මේ ලේඛකයාට උදා විය. එහි දී ඔහු සදහන් කළේ නීතියට පිටුපා තමන් කිසිවක්‌ කර නොමැති බවත් මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ පරිසර නීතිවලට අනුකූල ව බවත් ය.

"පරිසර තත්ත්ව ආරක්‍ෂණ ප්‍රමිති සහතික රැසක්‌ අපට ලැබී තිබෙනවා. බලධාරීන් අපට දැනුම් දෙන ප්‍රමිති තත්ත්ව උපරිම ලෙස අපි රකිනවා. අපේ උදුනට අදාළ කුලුනු සැලකුව හොත් එය අඩි 135ක්‌ උසයි. එසේ ලොකු උසකින් තැනුවේ පහළට අංශු විසිරීම වළක්‌වන්නටයි. අපි රටට හිතකර ව්‍යාපාරයක්‌ කරන්නේ. නිකරුණේ නාස්‌ති වන්නට යන ඊයම් හා අනෙක්‌ දේ මගින් රටට ආදායමක්‌ ලබා දීමයි කරන්නේ. ලෙඩ් අම්ල බැටරි එක්‌කයි අපි වැඩ කරන්නෙ. මේ බැටරි අපේ නියෝජිතයෝ ගෙනත් දෙනවා. බැටරිය වටේ පොලිප්‍රොප්ලීන් වැස්‌මක්‌ තියෙනවා. ඒ කවරය වෙන් කොට මැද ඇති ඊයම් ගන්නවා. මේ ඊයම් රත් කරන්නේ නීතිවලට අනුව. මෙහි සේවකයන් සියලු දෙනාට ලෝකයේ හොද ම මුව ආවරණ (Mask) සපයා තිබෙනවා. මාස හයකට වරක්‌ කාර්මික තාක්‌ෂණ ආයතනයේ සහතික ගන්නවා. ISO 14,000 ප්‍රමිති සහතිකයත් අප සතුයි. ඒ වගේ ම තමයි පළාත් පරිසර අධිකාරිය අපට යම් උපදෙසක්‌ දුන් විට අප ඊට අනුකූලව කටයුතු කරනවා" යනුවෙන් ඔහු පැවසී ය.

සමාලෝචනය

බැර ලෝහ සම්බන්ධ ගැටලුව විසදීමේ දී රජය දූරදර්ශීව ඉතා දිගුකාලීන පියවර ගත යුතු ව තිබේ. මෙහි දී අප සදහන් කළ දෘෂ්ටාන්තයට අදාළව පැනනගින ගැටලුවක්‌ වන්නේ පළාත් සභාවකට 'ඔරොත්තු දෙන්නේ නැති තරමේ' නීතිමය බලතල ලබා දීම සාධාරණ ද යන්නයි. මෙවැනි කරුණක දී පළාත් සභාව මධ්‍යම රජයට අනුගත ව හෝ අවම වශයෙන් සහජීවනයෙන් හෝ කටයුතු කළ යුතු ව තිබේ. විශේෂයෙන් ම පරිසරය වැනි සියුම් සංවේදී මාතෘකාවක දී පළාතක්‌ සතු විශේෂඥ සම්පත් අවම හෙයින් මධ්‍යම රජය හා සබදතා පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී මතු වන ප්‍රති තර්කයක්‌ වන්නේ ප්‍රදේශයේ පරිසර ගැටලු ගැන වැඩි අවබෝධයක්‌ ඇත්තේ ප්‍රදේශයේ ම සිටින්නන්ට බවයි. එහෙයින් මෙවැනි ප්‍රශ්න විසදීමේ දී කමිටුවක්‌ පත් කොට එහි උපදෙස්‌ පැතීම සුදුසු ය.

ප්‍රශ්නයට විසදුම කර්මාන්ත වසා දැමීම හෝ කර්මාන්තකරුවා වැට්‌ටවීම නො වේ. බැටරි ප්‍රතිචක්‍රීකරණය යනු සැබැවින් ම රටට හිතකර ක්‍රියාවලියකි. ගැටලුව නම් එය සිදු කරන ආකාරයයි. කර්මාන්ත වට්‌ටවන්නට නො ව නගා සිටුවන්නට සියලු දෙනා උත්සුක විය යුතු ය. ඒ කර්මාන්තයේ පමණක්‌ නො ව සියලු ම කර්මාන්තවල පරිසර ගැටලු ඇත්නම් විද්වත් උපදෙස්‌ මත ඒවායේ ගැටලු අවම කරවමින් ඉදිරියට ගෙන යා යුතු ය. විශේෂයෙන් ම විද්‍යාඥයන් මේ ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් පුළුල් මට්‌ටමේ පර්යේෂණ සිදු කළ යුතු ය. ඉන් පසු ඒ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ යුතු අතර ඒවායෙන් නිසි ඵල නෙළාගන්නට දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් කටයුතු යෙදිය යුතු ය.

කැලණිය විශ්වවිද්‍යාලයයේ
පාරිසරික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය
මනෝඡ් ප්‍රසන්න රත්නායක