logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාව නැනෝ චන්ද්‍රිකා තාක්‌ෂණ යුගයට පිවිසෙයි

චන්ද්‍රිකා තාක්‌ෂණය යනු රටක තාක්‌ෂණය ඥානය විදහා දක්‌වන එක්‌ ප්‍රධාන අංගයකි. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට තමන් විසින් නිෂ්පාදනය කරන ලද චන්ද්‍රිකා ගුවන්ගත කරමින් ඒවායෙන් විවිධ සංවර්ධන කටයුතු සදහා සක්‍රිය දායකත්වයන් ලබාගනී. දියුණු වෙමින් පවතින අප වැනි රටකට එවන් තාක්‌ෂණ යුගයකට පිවිසීම සිහිනයකි. එහෙත් මේ වන විට චන්ද්‍රිකා තාක්‌ෂණ ඥානය මෙරටට ලබාගැනීමේ පිවිසුම් දොරටුව විවර වී හමාර ය.

ඒ නවීන තාක්‌ෂණ පිළිබද ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ගේ අපරිමිත උත්සාහය සහ ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් රුසියානු රජය හා ඇති කරගත් අවබෝධතා ගිවිසුමක්‌ මගිනි. එමගින් කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා හෙවත් නැනෝ චන්ද්‍රිකා තාක්‌ෂණය සම්පූර්ණයෙන් මෙරටට ලබා දීමට හා එම චන්ද්‍රිකා උඩු ගුවනේ ස්‌ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු රුසියාවේ සමාරා අභ්‍යවකාශ විශ්වවිද්‍යාලයය මගින් සම්පාදනය කිරීම සදහා කැමැත්ත පළ කර ඇත. මෙහි පළමු අදියර ලෙස ශ්‍රී ලංකාවේ දී වැඩමුළුවක්‌ පැවැත්වුණු අතර ඒ සදහා රුසියානු චන්ද්‍රිකා විශේෂඥයෝ කිහිප දෙනෙක්‌ ම සහභාගී වූ හ.

මෙහි දෙවැනි අදියර ලෙස, තෝරාගත් ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් 17 දෙනකු රුසියාව වෙත ගොස්‌ නැනෝ චන්ද්‍රිකා තාක්‌ෂණයේ සියලු අංශ පිළිබද අවබෝධයක්‌ ලබාගත් හ. ඒ අනුව 2018 වසරේ ශ්‍රී ලංකාව සිය ප්‍රථම නැනෝ චන්ද්‍රිකාව නිෂ්පාදනය සදහා පියවර තබන අතර 2020 දී එය උඩුගුවනේ ක්‍රියාත්මක කරමින් ලෝකයේ අනෙක්‌ රටවල් මෙන් ශ්‍රී ලංකාව ද චන්ද්‍රිකා තාක්‌ෂණ යුගයකට යොමු වනු ඇත.

නැනෝ චන්ද්‍රිකාවක්‌ යනු පෘථිවියට ඉහළින් කිලෝ මීටර 400 - 500 අතර කක්‌ෂයෙහි ගමන් කරන බර කිලෝ 1ත් 10ත් අතර වන ඉතා කුඩා ප්‍රමාණයේ ඉලෙක්‌ට්‍රොනික පද්ධතියකි. නැනෝ චන්ද්‍රිකාවක ප්‍රමාණය සම්මත මිනුම්වලට අනුව 10 cm x 10 cm x 10 cm ප්‍රමාණයේ ඝනකයක්‌ වන අතර එය එක්‌ ඒකකයක්‌ (1 unit) ලෙස සැලකේ.

සාමාන්‍යයෙන් ඒකක 1, 2, 3, 4 යනාදී වශයෙන් ඒකක 12 දක්‌වා නැනෝ චන්ද්‍රිකා ප්‍රමාණයන් ගෙන් දැකිය හැකි ය. නිෂ්පාදන වියදම අඩු වීමත්, අඩු බලයකින් ක්‍රියා කරවීමට හැකි වීමත්, විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා ගුවන්ගත කරන රොකට්‌ යානයක මෙවැනි චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක්‌ රැගෙන ගොස්‌ මුදාහැරීමට හැකි වීමත්, විවිධ අංශ සදහා දායකත්වය ලබාගත හැකි වීමත් නිසා නැනෝ චන්ද්‍රිකා ඉතා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතියි.

විශේෂයෙන් සන්නිවේදන කටයුතු, කාලගුණික දත්ත ලබාගැනීම, කෘෂිකාර්මික වගාවන් පිළිබද දත්ත, චන්ද්‍රිකා ඡායාරූපකරණය, සුනාමි වැනි අනතුරු හඳුනාගැනීම්, නැව් හා බෝට්‌ටු ඇති ස්‌ථාන හඳුනාගැනීම, විශාල චන්ද්‍රිකා මගින් ආවරණය නො වන කලාප ආවරණය වැනි විෂයන් හි ඉතා සක්‍රිය දායකත්වයක්‌ නැනෝ චන්ද්‍රිකා මඟින් ලබා දේ.

එහෙත් ස්‌ථාවර විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා හා සැසඳීමේ දී නැනෝ චන්ද්‍රිකාවක ආයු කාලය කෙටි ය. එනම් සාමාන්‍යයෙන් මාස 6 සිට අවුරුදු 10ක්‌ දක්‌වා කාල පරාසයකි. එයට ප්‍රධාන ම හේතුව වන්නේ පෘථිවියට ඉතා ආසන්න මට්‌ටමක කක්‌ෂගත වීම නිසා ඒ මත පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් ඇති වන බලපෑම හේතුවෙනි.

නැනෝ චන්ද්‍රිකාවක ඇති තාක්‌ෂණික කොටස්‌ සලකා බැලීමේ දී එය පහත සදහන් අංගවලින් සමන්විත බව හඳුනාගත හැකි ය.

සූර්ය බල ජව සැපයුම (Electronic power supply subsystem)

චන්ද්‍රිකාවට සවි කර ඇති සූර්ය කෝෂ මගින් එහි ඇති බැටරි ආරෝපණය කරගන්නා අතර, එමගින් එහි ඇති සියලු ම ඉලෙක්‌ට්‍රොනික පද්ධති වෙත ජවය සපයයි.

පරිගණක පද්ධතිය (Onboard computer subsystem)

නවීන ක්‌ෂුද්‍ර පාලක (Micro Controller) හා සන්නිවේදක පද්ධතියකින් නිර්මාණය කර ඇති මෙමගින් චන්ද්‍රිකාවේ ඇති සියලු ම ඉලෙක්‌ට්‍රොනික පද්ධති පාලනය කිරීමත් දත්ත ගබඩා කර තබාගැනීමත් සිදු කරයි.

ස්‌ථානගත වීම හා දිශානතිය නිරීක්‌ෂණ හා පාලන පද්ධතිය (Attitude determination and control subsystem)

චන්ද්‍රිකාව පෘථිවිය වටා භ්‍රමණය වීමේ දී

නිවැරැදි දිශානතිය ලබාගැනීම සදහා භාවිත කරන ඉලෙක්‌ට්‍රොනික පද්ධතිය මෙය වේ. මෙහි පාලන ක්‍රියාවලිය විශේෂ මෘදුකාංග වර්ග 2කින් සමන්විත වේ. එක්‌ වර්ගයක්‌ පෘථිවියේ චුම්බක ක්‌ෂේත්‍රය උපයෝගි කරගනිමින් මෙය සිදු කරන අතර අනෙක්‌ පාලන ක්‍රියාවලිය සිදු වන්නේ චුම්බක ක්‌ෂේත්‍රය සමඟ හිරු ගේ පිහිටීම, පෘථිවියේ පිහිටීම, චන්ද්‍රිකාවේ සැකිල්ලේ සාපේක්‌ෂ පිහිටීම යන අංශ ගණිතමය මූලධර්ම උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන ක්‍රියාවලියකිනි.

සන්නිවේදන පද්ධතිය (Communication subsystem)

මෙමඟින් චන්ද්‍රිකාව හා පෘථිවි පාලන පද්ධතිය සම්බන්ධ කිරීම සිදු කරන අතර සියලු ම සන්නිවේදන කටයුතු සිදු කරනු ලබයි. විශේෂයෙන් UHF, VHF පරාසයේ සන්නිවේදන උපකරණ මේ පද්ධතියේ ක්‍රියාත්මක වෙයි.

භාරය (Pay load subsystem)

චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටු කරගැනීම සඳහා එකලස්‌ කරගන්නා සන්නිවේදක කොටස්‌ මඟින් සන්නද්ධ මේ කොටස මඟින් අවශ්‍ය ම දත්ත ලබා ගැනීම සිදු කරනු ලබයි.

චන්ද්‍රිකාවක්‌ සතු විය යුතු සියලු තාක්‌ෂණික අංශවලින් සමන්විත මෙවැනි කුඩා ප්‍රමාණයේ නැනෝ චන්ද්‍රිකා නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව යොමු වීම අප ලද මහඟු භාග්‍යයකි. චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා වන ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ මහතා ගේ නමින් ආරම්භ කරන ලද නවීන තාක්‌ෂණ පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය චන්ද්‍රිකා තාක්‌ෂණ යුගයකට සැබෑ ලෙස ම පිවිසීමේ මුඛ්‍ය පරමාර්ථය සහිත ව ක්‍රියා කිරීම මුළු මහත් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. එනම් ඉදිරි වසර කිහිපයක ශ්‍රී ලංකාව නැනෝ චන්ද්‍රිකා තාක්‌ෂණ යුගයේ විප්ලවීය වෙනසක්‌ සනිටුහන් කරනු ඇත.

නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ
කනිෂ්ඨ කණ්‌ඩායම් නායක
පර්යේෂණ විද්‍යාඥ
සමන්ත පුෂ්පකුමාර