logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සාමාන්‍ය පෙළ සමයේ දී වත් ශබ්ද දූෂණය පාලනය කරමු

අප දූ දරුවන් ලක්‍ෂ සංඛ්‍යාවක්‌ පෙනී සිටින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉතා ආසන්න ය. ඔවුන් ගේ යහපත වෙනුවෙන් අප ගමේ සැම ගෙන් මා කළ කාරුණික ඉල්ලීමක්‌ මෙසේ ය.

ගරු ස්‌වාමීන් වහන්සේලා සහ නෑදැ හිතවතුන් සැම ගෙන් කාරුණික ඉල්ලීමක්‌

2017 දෙසැම්බර් මාසයේ 12 දා සිට 21 දා දක්‌වා පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ගමේ දූ පුතුන් සැම ගේ ම අධ්‍යාපනික කටයුතුවලට බාධා වන සේ ශබ්ද ඝෝෂා නො කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ගුවන් විදුලි සහ ශබ්ද වාහිනී මගින් නිකුත් කරනු ලබන ඝෝෂාකාරී ශබ්ද, විශේෂයෙන් ම ඩෙසිබල් 60කට වැඩි ශබ්දවල අයහපත් බලපෑම් කීපයක්‌ තිබෙන අතර, පොත පත කියවන දූ දරුවන්ට ඉන් සිදු වන බාධාවන් පිළිබදව අපේ විශේෂ අවධානය යොමු විය යුතු යෑයි සිතමි.

යම්කිසි කටයුත්තක්‌ සදහා භාවිත කරන ශබ්දය අන් අයට හානියක්‌ සිදු නො වන පරිදි කළ යුතු බවට පරිසර අධිකාරිය නීතිරීති පනවා ඇති අතර නිවසේ සහ යානවාහනවල මෙන් ම වෙළෝද ස්‌ථානවල ගුවන් විදුලි යන්ත්‍රවල හඩ ඒ ඒ ස්‌ථානයට පමණක්‌ සීමා වන ලෙස මෙන් ම විවිධ අවස්‌ථාවල දී භාවිත කරනු ලබන ශබ්දවාහිනී හඩ හැකි පමණ පහත් මට්‌ටම්වලින් තබාගනිමින් විභාගය සදහා සූදානම් වන අප දූ පුතුනට සහාය වෙමු.

කේ. ආර්. අභයසිංහ 25.10.2017

වසර දෙකක පමණ කාලයක සිට පාසල් සිසුන් ගේ විභාග අබියස මා මෙවන් ආයාචනයක්‌ කරන්නේ අප ගමේ බොහෝ නිවෙස්‌වල මෙන් ම ආගමික ආයතනවල විටින් විට නැෙගන ඝෝෂාකාරී ගුවන්විදුලි සහ ශබ්ද වාහිනි හඩ දූදරුවන් ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා වන බව පැහැදිලිව පෙනී ගිය නිසා ය. මා ගේ ඉල්ලීමේ සාධාරණත්වය වටහාගත් මාගේ නෑදැ හිතවතුන් බහුතරයක්‌ ධනාත්මකව ප්‍රතිචාර දැක්‌වූ බව සදහන් කරන්නේ ඉතා සතුටිනි.

අප ගම්මානයේ පමණක්‌ නො ව, දිවයිනේ ගම්මාන රැසක ම විවිධ ආයතන මෙන් ම සමහර නිවැසියන් විසින් විවිධ අවස්‌ථාවල විවිධ ආකාරවලින් පරිසරයට නිකුත් කරන ඝෝෂාකාරී ශබ්ද බොහෝ දෙනකුට හිරිහැරයක්‌ වන අතර විශේෂයෙන් ම දු දරුවන් ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා වන බව පැහැදිලි ය.

ස්‌වභාවධර්මයා විසින් නිර්මාණය කෙරෙන ඝෝෂා වර්ග ඉතා අල්ප ය. බහුලව පැන නගින ස්‌වභාවික ඝෝෂාකාරී ශබ්ද අතරින් ගිගිරුම එකකි. කලාතුරකින් සිදුවන භූමිකම්පා සහ නාය යැම් සමහර අවස්‌ථාවල කෙටිකාලීන මහා ශබ්දවලට හේතු වේ. එහෙත් මිනිසා සහ සත්ත්ව වර්ගයාට ඒවා හානිදායක ඝෝෂාවන් නො වීමට අවශ්‍යතා ස්‌වභාවයෙන් ම සකසා ඇත. ශාරීරික අවයව කීපයකින් ළග ළග එන කාලගුණික සහ අනෙක්‌ ආපදා ගැන කල් තියා හෝඩුවා ලබාගැනීමට සත්ත්වයා සතු ව ස්‌වාභාවික ශක්‌තියක්‌ ඇත. දැඩි ගිගිරුමකට පෙර ඇසට දැකගත හැකි ආලෝකයත් ආපදා හැගවීමේ එක්‌ පෙර ලකුණකි. කන වසාගැනීමෙන් හෝ ආරක්‍ෂක ස්‌ථානයකට යොමු වීමෙන් හෝ ඝෝෂාවෙන් ලැබිය හැකි ශ්‍රවණ ආපදා හැකි තරමින් අඩු කරගැනීමට මිනිසාට හැකියාව ඇත.

වසර මිලියන ගණනාවක්‌ පුරා සිදු වූ සත්ත්ව පරිණාමයේ එක්‌ පියවරක්‌ ලෙස මිනිසා පරිසරයට එක්‌ වූ බවට සාධක විද්‍යා ලෝකය සතු වන අතර, මනසේ උසස්‌කම නිසා ම, මිනිසා අංශ ගණනාවක ගවේෂණ සිදු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ස්‌වාභාවික පරිසරයට ආගන්තුක දැ සමූහයක්‌ එක්‌ වී ඇත. මෙසේ එක්‌ වූ යාන්ත්‍රික උපකරණ, ප්‍රවාහන, යන්ත්‍ර, ඉදිකිරීම් උපකරණ, මෙන් ම උච්ච ශබ්ද විකාශන අපකරණ මිනිස්‌ ක්‍රියාකාරකම්වල දී උපකාර වුවාට, ඒවා මගින් පිරිසරයට එක්‌ වන දූෂණයන් අතරින් ශබ්ද දූෂණය ප්‍රධාන වන්නකි. ශබ්දය ද එක්‌තරා පරිසර දූෂණ මාධයයකි. එය පරිසරයට මෙන් ම සෘජු ව ම සහ වක්‍ර ලෙස ශාරිරික සෞඛ්‍යයට බලපාන සාධකයකි.

ශබ්දය විවිධ අයුරින් අපේ කනට (කන් බෙරය) වෙත ළගා වේ. ශබ්දයක ස්‌වභාවය අනුව එය සංගීත ස්‌වරයක්‌ හෙවත් කනට ශ්‍රවනය කළ හැකි තීව්‍රතා සීමාවේ තිබෙන ශබ්දයක්‌ හෝ කනට අමිහිරි, ශාරිරික අපහසුතාවකට තුඩු දෙන ඝෝෂාවක්‌ යන ලෙස ප්‍රභේද දෙකෙන් එක්‌ වර්ගයකට අයත් වේ. සංගීත ස්‌වරයක්‌ හෝ කනට ගෝචර ශබ්දය හානිකර නො වේ. එහෙත් දිගුකාලීන ශබ්දයක්‌ මිහිරි වුව ද විවිධ ශ්‍රවණ දුබලතාවලට මුල පුරන බව ඔබ අසා, කියවා ඇත. ඝෝෂාව අමිහිරි මෙන් ම සෞඛ්‍යමය ලෙස අපට අහිතකර ය. එය විවිධ ශ්‍රවණ ආබාධ ගෙන දෙයි.

විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුවත් සමග ම විවිධ ක්‍ෂෙත්‍රවලින් පරිසරයට එක්‌ වූ ශබ්ද, මිනිසාට මෙන් ම සත්ත්වයන්ටත් විවිධ හානි සිදු කරන දූෂකයන් බව ලොව රටවල් ගණනාවක ම ජනතාව අවබෝධ කරගත්තා පමණක්‌ නො ව, ශබ්ද දූෂණය පාලනය කිරීම සදහා අවශ්‍ය තාක්‌ෂණික ක්‍රමවේදයන් මෙන්ම ප්‍රමිතීන් සහ නීතිරීති සම්පාදනය කිරිමට පියවර ගන්නා ලදී. ඝෝෂාකාරී ශබ්දය ශ්‍රවණ ආපදාවලට පමණක්‌ නො ව, හෘද රෝග, මානසික රෝග, කාන්තාවන් ගේ ගර්භාෂය හා සම්බන්ධ රෝගවලට පවා සාධක වන බව අවබෝධ කරගෙන සෑහෙන කල් ය. නින්දට, අධ්‍යයන කටයුතුවලට සහ සාකච්ඡාවලට ඝෝෂාකාරී ශබ්දයෙන් සිදු වන බාධාව සැලකිය යුතු තරම් ය.

වසර 1970 දශකය පමණ දක්‌වා අධික ශබ්දය එක්‌තරා කරදරයක්‌ ලෙස සැලකුවා මිස, එය පාරිසරික ගැටලුවක්‌ ලෙස දුටුවේ නැත. ශබ්ද දූෂණය පාලනය කිරීම සදහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පා තැබූ රාජ්‍යයන් ගෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදය පෙරමුණ ගත් අතර ඒ සදහා වසර 1969 දී ජාතික පාරිසරික ප්‍රතිපත්තියක්‌ ද (National - Enviromental - Policy Act (NEPA) 1972 දී ශබ්ද පාලන පනතක්‌ ද (Noise Control Act (NCA) ජනතාව වෙත ඉදිරිපත් කර ඇත. ඇමෙරිකා එක්‌සත් ජනපදය අනුව යමින් නෙදර්ලන්තය (1979 දී), ප්‍රංශය (1985 දී) සහ ඩෙන්මාකය (1994 දී) ශබ්ද දූෂණය පාලනය කරන නීතිරීති සම්පාදනය කර ඇත. මේ අතර ම ශබ්දයේ තිව්‍රතාවන් මැනගැනීමට උපකාර වන තාක්‍ෂණික උපකරණ නිර්මාණය විය. එය මැනගන්නා ඒකකය ඩෙසිබල් (decibel, dB) වන්නේ ය.

බොහෝ රටවල ශබ්ද පාලන පනත්වලට අනුව ගෘහස්‌ථ ශබ්ද සීමාව ඩෙසිබල් 55 ලෙස ගැනේ. රාත්‍රි කාල වේලාවන් සදහා එය ඩෙසිබල් 5 තරම් අඩු මට්‌ටම්වලට සීමා වේ. උපරිම ශබ්ද මට්‌ටම ඒ ඒ රාජ්‍යයන්වල පරිපාලකයන් විසින් තීරණය කෙරේ. පෝර්ට්‌ලන්තයේ ශබ්ද පාලන පනතට අනුව දිවා හෝරාවල දී ශබ්ද සීමාව ඩෙසිබල් 100 ද, රාත්‍රි හෝරාවල ශබ්ද සීමාව ඩෙසිබල් 80 ද වන්නේ ය. බොහෝ රටවල ශබ්ද පාලන පනත් විටින් විට යාවත්කාලීන වන නිසා ඉහත දැක්‌වූ ශබ්ද සීමා අගයන් ද අදට ගැලපෙන පරිදි වෙනස්‌කම්වලට භාජන වී ඇතිවාට සැක නැත.

කෙසේ වෙතත් ඩෙසිබල් 100 ඉක්‌මවන ශබ්ද පැය 4කට පමණ වැඩි කාලයක්‌ තුළ නොකඩවා ශ්‍රවණය වන්නේ නම් ශ්‍රවණේන්ද්‍රියන්ට සිදු වන හානිය සැලකිය හැකි තරම් බව මෑත කළ පර්යේෂණවලින් පෙනී ගොස්‌ ඇත. ශබ්ද පරිපාලනය සදහා නීතිරීති සම්පාදනයේ මුල් අවධියේ ප්‍රමුඛස්‌ථානය දී ඇත්තේ නාගරික ජනතාව ගේ යහපත උදෙසා ය. එහෙත් මෑත දශක දෙක තුන තුළ ලෝකය වෙත ළගා වූ සාමාජීය සංවර්ධනයන් අනුව ඝෝෂාකාරී ශබ්දයන් මිනිස්‌ ජීවිතවලට බාධා නො වන පරිසරයක්‌ සොයාගැනීම අසීරු ය.

ඒ යථාර්ථය ඉදිරියේ, සීමාවන් ඉක්‌මවන ඝෝෂාකාරී ශබ්ද සැම ජන කොට්‌ටාශයකට ම බාධා ගෙන එයි. අප රටේ දූ දරුවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන මෙසමයේ මෙන් ම විභාගය 2017 දෙසැම්බර් මස 12 සිට 21 වැනි දා දක්‌වා කාලයේත් ඔවුන් ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණිය හැකි ඝෝෂාකාරී ශබ්ද පරිසරයට නිකුත් කිරීමෙන් වැළකී සිටීමට සැම දෙනා ම වගබලා ගැනීම වැදගත් වන්නේ ය.

කේ. ආර්. අභයසිංහ