logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


"සැම සියයකින් කෙනකු ම ආඝාත රෝගියෙක්‌""සැම සියයකින් කෙනකු ම ආඝාත රෝගියෙක්‌"
ආඝාත සංගම් සභාපති - වෛද්‍ය රිෆ්සි කියයි

මනෝඡ් රත්නායක

ලංකාවේ සැම පුද්ගලයන් 100 දෙනකු ගෙන් ම එක්‌ අයෙක්‌ ආඝාතයට ගොදුරු වේ. ලෝක තත්ත්වය සැලකූ කල හැම හය දෙනකු ගෙන් ම එක්‌ අයකු ජීවිත කාලය තුළ එක්‌ වතාවක්‌ හෝ ආඝාතයට ගොදුරු වී ඇත.

ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි මහතා විසින් මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඔක්‌තෝබර් 29 දාට යෙදෙන ලෝක ආඝාත දිනය නිමිත්තෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී ය. සිය දේශනයේ දී වෛද්‍ය රිෆ්සි මහතා අවධාරණය කළ තවත් වැදගත් කරුණක්‌ වූයේ ආඝාතයට ගොදුරු වූවකු ඉතා ම ඉක්‌මනින් රෝහලක්‌ වෙත ගෙන ඒමේ අවශ්‍යතාවයි.

ආඝාත ලක්‌ෂණ පහළ වී පැය තුනක්‌ ඇතුළත රෝගියා ගෙන ඒම අනිවාර්ය බව කලින් කියෑවුණ ද ඒ කාලය පැය 4 1/2 දක්‌වා දීර්ඝ වුව ද ජීවිතය බේරාගත හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත් ඉක්‌මනට ප්‍රතිකාර සදහා යොමු කිරීම රෝගියා ගේ යහපතට හේතු වන බව ද ඒ මහතා පෙන්වා දුනි. වෛද්‍ය රිෆ්සි වැඩිදුරටත් කතා කරමින් ද මෙසේ ද කී ය.

"මිනිසුන් පපුවෙ අමාරුවක්‌ හැදුණොත් ඉක්‌මනට ම ප්‍රතිකාර ගන්න යොමු වෙනවා. හැබැයි ආඝාතය සම්බන්ධයෙන් ඒ උනන්දුව මිනිසුන් තුළ නැහැ. ඊට හේතු කිපයක්‌ තියෙනවා. පපුවේ අමාරුවෙන් වේදනාවක්‌ දැනෙනවා. නමුත් ආඝාතයෙන් වේදනාවක්‌ නැහැ. ඒ වගේ ම බොහෝ දෙනෙක්‌ පපුවේ අමාරුව ගැන දැනුවත්. හැබැයි ආඝාතය ගැන දැනුවත් නැහැ. ආඝාත සංගමය උත්සාහ කරන්නේ ජනතාව මේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් කරමින් මේ මාරක සතුරා ගෙන් රෝගීන් ගලවාගන්නටයි."

ආඝාතය සමහර අවස්‌ථාවන්හි දී "බ්‍රේන් ඇටෑක්‌" (brain attack) ලෙස ද හැදින්වේ. මොළයට රුධිර සැපයුම අඩාළ වීමෙන් ආඝාතය ඇති වේ. එසේ වූ විට මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමෙන් රෝගියාට අංශභාග තත්ත්වයක්‌ ඇති වීම හෝ මෙහි වෙන ම කොටුවක සදහන් රෝග ලක්‌ෂණ පහළ වීම හෝ සිදු වේ.

වෛද්‍ය රිෆ්සි පවසන්නේ කෙනකු ඉහත රූපයේ දැක්‌වෙන ලක්‌ෂණ තුන අතරෙන් එකක්‌ හෝ පෙන්වන්නේ නම් වහා ම සැලකිලිමත් විය යුතු බවයි. එම ලක්‌ෂණ නම්,

(1) මුහුණේ පැත්තක්‌ එල්ලා වැටීම හෝ ගල් ගැසී තිබීම වැනි දෙයක්‌. (face drooping පහතට එල්ලා වැටීම) මෙය රූපයේ පෙන්වා තිබේ. එවැනි විටක රෝගියාට හිනාවෙන්න කියන්න තොල්/සිනහව අසමමිතික නම් සැලකිලිමත් වන්න.

(2) අතක්‌ ප්‍රබල ලෙස දුර්වල වන්නේ නම් අනතුරු/අවදානම් ලකුණකි. අත් ඔසවන විට ගැටලු මතු වේ නම් සැලකිලිමත් වන්න.

(3) කථන ගැටලු - වචන පැටලීම හෝ ගොත ගැසීම සිදු වේ නම් සැලකිලිමත් වන්න. වාක්‍යයන් කියා රෝගියාට එය පුනරුච්චාරණය කරන්නැයි කියන්න. එය නිවැරදි නො වන්නේ නම් අනතුරුදායක ලකුණකි.