logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය 6

අනතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න

(අවසාන කොටස)

ගාම්භීර ලෙස විච්ඡේදනාගාරය තුළට ලැසි ගමනින් ඇවිද යන දොස්‌තර ගේ මුහුණේ රැඳී තිබුණේ උදාරම් සහගත බැල්මකි. මම දෙපා ඔසවාගන්නට හෝ අසමත් වීමි. මායාට කුමක්‌ සිදු වන්නට ඇත් දැයි සිතාගත නොහැකි ව මගේ මනස අවුල් ජාලාවක පැටලී තිබිණ. ලෙනින්ස්‌කි දක්‌වා වූ කිලෝමීටර පන් දහසක දුර මට දැනුණේ මන්දාකිණි අතර දුරක්‌ මෙනි. මගේ හදවත වේදනාවෙන් මිරිකුණේ ය.

"ඈ මැරෙනකොට වයස කීය ද...? මම කිව්වේ මේ මමිය..." අන්ෙද්‍රdaව් ඇසුවේ ය.

"කූගල් කියා වි ඒක ගැන. ඒත් මට තේරුම්ගන්න බැරි දේ තමයි ඇයි ඒ ගොල්ලන්ට මේ කාන්තාව සනීප කරන්න බැරි වුණේ කියල. ඇත්ත තමයි, සමහර වේලාවට මේ නියෝප්ලැසම් අන්තිම මොහොත වෙනකං කිසි ම රෝග ලක්‌ෂණයක්‌ පෙන්නුම් කරන්නේ නැහැ. ගොඩක්‌ වෙලාවට එක ම ලක්‌ෂණය පොඩි ඇඟට අමාරු ගතියක්‌ දැනෙන එක විතරයි. නුඹ දන්නව නේ ඉතින්, දැන් හැදෙන පරම්පරාවේ හැටි. ඒවා පොඩ්ඩක්‌ වත් සැලකිල්ලට ගන්නේ නැහැ නේ. වෛද්‍ය උපදෙස්‌ ප්‍රතිකාර තුට්‌ටුවකට මායිම් කරන්නෙ නැහැ. ඔන්න පේනව නේ එතකොට සිද්ධ වෙන දේවල්...."

දොස්‌තර ගේ කටහඬ මෙගාෆොaනයක්‌ තුළින් ඇසෙන කලෙක මෙන් උස්‌ හා රළු බවක්‌ අත් කරගත්තේ ය.

අපි විච්ඡේදනාගාරය තුළට පිවිසුණෙමු. කිරිගරුඬ මතුපිටක්‌ ඇති මේසයක්‌ අසල වැඩ කබායක්‌ රහිත ව වාඩි වී සිටි තලතුනා මිනිසෙක්‌ සටහන් පොතක කිසියම් ගණනය කිරීමක්‌ සටහන් කරමින් සිටියේ ය.

"කූගල් කොහොම ද නුඹේ ගණන් බැලීම, ඈ කොච්චර කල් ජීවතුන් අතර ඉඳල තියෙනව ද?" දොස්‌තර ඇසුවේ අංගඡේදනය කළ ප්ලාස්‌ටික්‌ අනුරුව පෙන්වමිනි.

"දවස්‌ අට දහස්‌ පන් සිය විසි තුන හමාරක්‌... අර බාගේ ගැන මට එච්චර විශ්වාස නැහැ." කූගල් කීවේ ගණනය කිරීම නොකඩවා කරගෙන යමිනි.

"ඩොක්‌ටර්," අන්ෙද්‍රdaව් කී ය. "මේ ඉන්නේ ඇගේ සැමියා..." ඔහු මා දොස්‌තර සිටි දිශාවට යන්තමින් තල්ලු කළේ ය.

"කාගෙ සැමිය ද? මෙයා ගේ?" ඔහු ඇසුවේ කපා කොටා තිබූ ප්ලාස්‌ටික්‌ කැබැලි දක්‌වමිනි.

"බොහොම අපූරුයි. දැන් එහෙනම් මෙයාට පුළුවන් අපට කියන්න ඈ හරියට ම මැරුණු දවස. නුඹට මතක ද ඒක?"

ඒ මොහොතේ මා පසු වූයේ ඊට හාත්පසින් ම වෙනස්‌ වූ යමක්‌ ගැන කල්පනා කරමිනි. මට ප්‍රංශ ඉංජිනේරු සුෂී සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කළ වාර්තාව සිහිපත් විය. ඔහු එහි සඳහන් කොට තිබුණේ සජීව වස්‌තුවක පරිමාමිතික පිරිවෙළුමක්‌ කළ හැක්‌කේ එය මිය ගිය පසු ව පමණක්‌ බවයි. එසේ ම අභ්‍යවකාශයෙන් මමිය හා ෆsලෝ ගේ උඩුකය පිළිබඳ සංඥා ලැබීම අතර මාස තුනක පරතරයක්‌ තිබු බව ද මට මතක්‌ විය. ෆsලෝ මිය ගියේ මීට මාස තුනකට පෙර ය. ඇතැම් විට හරියට ම මාස තුන සම්පූර්ණ වන දවස අද විය හැකි ද?

දොස්‌තර පැණි වෑහෙන ලලිත ස්‌වරයෙන් පෙර ප්‍රශ්නය ම යළි ඇසුවේ රෝගියකු අමතන්නාක්‌ මෙනි. මම නො දන්නා බව හඟවමින් හිස සැලුවෙමි.

"නුඹට මතක නැහැ? බිරිඳ මිය ගිය දවස නුඹට මතක නැහැ." දොස්‌තර ගේ කටහඩේ වූයේ විස්‌මයට පත් ස්‌වභාවයකි.

කතා කරගැනීමට නොහැකි ව සිටි මා වෙනුවෙන් අන්ෙද්‍රdaව් උත්තර බැන්දේ ය.

"ඈ කීයට වත් මිය ගියා වෙන්න බැහැ. මෙයා රේඩියෝ ටෙලිෆොaන් එකෙන් ඈට කතා කරලා යන්තම් පැය දෙකක්‌ වත් ගියේ නැහැ."

"මිය ගිහින් නැහැ? ඒක වෙන්න බැහැ." දොස්‌තර කීවේ ඒකාන්ත ස්‌වරයෙනි. "අන්ෙද්‍රdaව්, නුඹේ මේ ප්‍රති-ලෝක සිද්ධාන්තය පිළිබඳ මගේ අප්‍රමාණ විශ්වාසයක්‌ තියෙනවා. ඒ හින්දයි ඈ... ඒ කියන්නෙ මොහු ගේ බිරිඳ මැරෙන්න අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති ව අපිට ඔප්පු කරන්ට බැහැ ප්‍රති-ලෝකය වත් අපේ මේ ප්‍රති-නිවුන්නාවත් පවතින බව..." ඔහු දෑස්‌ සිවිලිම දෙසට එසවූයේ ය. "මේ විශ්වය ඇතුළේ."

මම හුස්‌ම හිර වන තරම් කෝපයෙන් වියරු වැටී සිටියෙමි. බලවත් උද්යෝගයෙන් උද්දාම වී සිටි දොස්‌තර වෙත මා ගමන් කළේ තර්ජනාත්මක සතුරු වෙසකිනි.

"කට වහගනින්. නුඹේ ඔය මළ ඉලව් ප්‍රතිලෝකෙ මට තුට්‌ටුවකට වත් වැඩක්‌ නැහැ. ඈ මැරිලා නැහැ. ඈට අසනීප නම් ඉක්‌මනින් ම ප්‍රතිකාර කරන්න ඕන."

අන්ෙද්‍රdaව් මා අල්ලාගත්තේ ය.

"සන්සුන් වෙයන්.. සන්සුන් වෙයන්.. මම මිනිත්තුවෙන් ලෙනින්ස්‌කි සම්බන්ධ කර ගන්නම්."

සිහිනයෙන් ඇවිද යන්නකු සේ මම කටහඬවලට සවන් දෙමින් කොරිඩෝර දිගේ ඇවිද ගියෙමි. වීදි දිගේ පියාසර කළෙමි. සෝපාන දිගේ ඉහළ නැංගෙමි.

"නුඹ මොන තරංග ආයාමයේ ද බිරිඳට කතා කළේ?" කිසිවකු විමසනු මට ඇසිණ.

"මම දන්නෙ නැහැ."

"මොකද්ද නුඹේ ටෙලිෆොaන් නොම්මරේ?"

"මට මතක නැහැ..."

"මොකද්ද නුඹේ නම"

මම එය කීවෙමි.

"මෙතනින් ඉඳගන්න"

මා අසලින් හිඳගත් අන්ෙද්‍රdaව් සිය අත මගේ අත මත තැබී ය.

"දුක්‌ වෙන්න එපා ඒගොල්ල ඉක්‌මනින් ම ඈව සොයා ගනී වි."

මම හිස සැලීමි. ගැඹුරු නිහඬතාවක්‌ කාමරය පුරා අරක්‌ගත්තේ ය. මා ඉදිරිපිට වූ දැවැන්ත අවලම්බ ඔරලෝසුවේ ටිකි හඬ නැඟී ආවේ ය. ලී පීප්පයක්‌ තුළ වූ පාම් ගසක්‌ ද, ඊට දකුණු පසින් බිත්තිය මත වූ ලෙනින් ගේ උඩු කය ප්‍රතිමාවක්‌ ද නො පැහැදිලි පටලයක්‌ තුළින් මෙන් දිස්‌ විය. උඩු කය රුව තනා තිබුණේ රතු කිරිගරුඬවලිනි. ඔරලෝසුව බොහෝ ලැසි ලයෙන් ටිකි හඬ නැඟුවේ ය.

"3 වැනි කුටියට යන්න." එවිට ම කවුදෝ කීවේ ය.

ගල් ගැසුණ කලෙක මෙන් මම එතැන ම හිඳගෙන සිටියෙමි. හැඟීම් නො දැනේ. සිතිවිලි නො ඉපදේ.

"3 වැනි කුටියට යන්න." කට හඬ පුනරුච්ඡාරණය විය.

"ඇතුළට පලයන්. එයාල ලෙනින්ස්‌කි සම්බන්ධ කරගෙන." අන්ෙද්‍රdaව් මගේ කමිස අතින් අදිමින් කීවේ ය.

මම පා එසැවීමි. කුටි අංක තුන... මේ තියෙන්නෙ. එතැන දුරබනු රිසීවරයක්‌ විය. මම එය අතට ගත්තෙමි.

මම එතැන නිහඬ ව ම සිටගෙන සිටියෙමි.

"කතා කරන්න" දුරකථන ක්‍රියාකරු පැවසී ය.

"මායා," මම කෙඳිරීමි.

"හලෝ... හලෝ..?" මට ඇගේ කටහඬ කෙතරම් පැහැදිලි ව ඇසුණේ ද යත් ඈ දුරකථන කුටිය තුළ මා අසල ම සිටින්නාක්‌ සේ දැනිණ.

"මායා." මගේ ම කටහඩ හඳුනාගත නොහැකි ව මම කෑගැසුවෙමි.

"ඒ ඔයා ද වාඩිම්?"

"මායා ඔයා ජීවත් වෙනව නේ ද?"

"මොකක්‌?"

"ඔයා ජීවත් වෙනව ද?"

"බෙරිහන් දෙන්න එපා අනේ. මට මුකුත් පැහැදිලි නෑ. ඇයි ඔයා රේඩියෝ ටෙලිෆොaන් එකෙන් කතා නො කළේ?"

එකවර මගේ මනස පෑදි දියක්‌ සේ පැහැදුල් විය. කළ යුත්තේ කුමක්‌ දැයි වැටහී ගියේ ය.

"මායා... හොඳින් අහගන්න..." මම ඉතා සෙමෙන් වචන ගොනු කරමින් කතාව ආරම්භ කළෙමි. "ඔයාට සනීප නැහැ... ඔව් හොඳට ම සනීප නැහැ. පුළුවන් ඉක්‌මනට දොස්‌තර ළඟට ගිහින් කියන්න ඔයාට සැකයක්‌ තියනවා කියල ලිම්ෆොaසාකොමා හැදිච්ච බවට. ඉක්‌මනට යන්න මගේ මැණික. මට පොරොන්දු වෙන්න දැන්ම ම යනව කියලා."

මගේ බිරිඳ ගේ සෙල්ලක්‌කාර ප්‍රීතිමත් සිනාව දුරබනුව ඔස්‌සේ ගලා ආවේ ය.

"හරි අමුතුයි නේ මේක" ඈ අවසන කීවා ය. "අපි දෙන්න එක වහලක්‌ යටට වෙලා තාම අවුරුදු හතරක්‌ වත් නැහැ. ඒත් කිලෝමීටර් පන් දාහක්‌ දෙපැත්තේ ඉඳගෙනත් අපි එක ම විදිහට හිතන්න පටන් අරගෙන නේ."

"වහා ම ගිහින් දොස්‌තර හම්බ වෙන්න." මමකෑගැසුවෙමි.

"මම මේ දොස්‌තර ළඟ ඉඳන් තමයි කතා කරන්නේ." ඈ ද පෙරළා කෑගැසුවා ය.

මගේ යටිබඩ දෙසින් අප්‍රසන්න සංවේදනාවක්‌ මතු වී ආවේ ය. ඈ ප්‍රබෝධවත් හඬින් කතා කරගෙන ගියා ය.

"ඔයා දන්නව නේ, ඊයේ මට ඇඟට එච්චර හරි නැති ව තිබුණු බව. නිකම් මහන්සි ගතියකුයි, ඇඟට පණ නැති ගතියකුයි තිබ්බෙ.... ඉතින් අද මම ක්‌ලිනික්‌ එකට ගිහින් හොඳට පරීක්‌ෂාවක්‌ කරගත්ත. ඔයා මොකද හිතන්නේ? ඔන්න මාව එක්‌ස්‌-රේ කළා ම ඩොක්‌ටර්ට අහු වුණා මගේ බඩ කිට්‌ටුව තියෙන වසා ගැටිත්තක්‌ යන්තම් ඉදිමිලා කියල. ඒ ගමන ඩොක්‌ටර් ඊත්‍රොaව් පණ යනකං මට කෑ ගැහුවා. ඔයා අහගෙන ඉන්න තිබ්බේ එයා ගේ සද්දේ. "ඕගොල්ලෝ මහ ලොකු උගත් කාන්තාවෝ.. ඒ වුණාට පරීක්‌ෂාවකට එන්නේ යලට මහට. දැන් ඉතින් බලමු, ඔයා ගේ වසා ගැටිත්ත සියේට දෙකකින් විශාල වෙලා. කොහොම ද වැඩේ?"

"මම ඒකට කැමතියි මායා..." මම කීවෙමි.

"ඉතින් තව විස්‌තර කියන්න."

"ඉන් පස්‌සේ ඉතින් වැඩේ බොහොම සරලයි... ඒගොල්ල මට ඉන්ජෙක්‌ෂන් එකක්‌ දීල කිව්වා ඊළඟ එකට තව හය මාසෙකින් එන්න කියල. එතකොට ඔක්‌කොම හරි ද කියල සිකුරට ම දැනගන්න පුළුවන් ලු. ෂෝක්‌ නේ ද වැඩේ?"

"හරි ම ෂෝක්‌" මම කීවෙමි.

"මොකක්‌ ගැන ද ඔයා මේ කනු කුනු ගාන්නෙ? දම් පාට මමියට මොකද වුණේ?"

"ඈ මැරුණා... මම කිව්වේ ඒගොල්ල ඈව කැපුවා. අනික්‌ නිවුන්නු ඔක්‌කොම පහළ තට්‌ටුවේ."

"අන්ෙද්‍රdaව් ගේ කල්පිතයට මොකද වුණේ? එයා ඒක ඔප්පු කළා ද?"

"මම... මම දන්නෙ නැහැ. මම ගෙදර ආවම ඔයාට සේරම විස්‌තර කියන්නම්."

"හරි. ඉක්‌මනට එන්න වස්‌තුවේ. මට ඔයා නැතිව හරි ම පාළුයි."

"මම හෙට ම එනවා."

"මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ආයුබෝවන්."

මා කුටියෙන් ඉවතට එන විට කට පුරා සිනාසෙමින් මා වෙත ආ අන්ෙද්‍රdaව් දෑතින් බදා මා වැළඳගෙන ඔහු ගේ පපුවට තද කරගත්තේ ය.

කිසිදු හේතුවකින් තොර ව මම ද කොක්‌සන් සිනාවකින් පුපුරා හැළුණෙමි.

"මොකද්ද ඔච්චර සතුටු වෙන්න කාරණේ?" මම විසුළු සිනාවක්‌ පාමින් ඇසීමි. "මායා ගේ වසා ගැටිත්තේ සුළු ඉදිමීමක්‌ නම් තියෙන්නේ, නුඹේ ප්‍රති-ලෝක සිද්ධාන්තෙ වත්, පෘථිවිය මත ජීවත් වෙන ප්‍රති-නිවුන් මිනිස්‌සු ගැන වත් ඔප්පු කරන්න නුඹට කවදා වත් බැරි වේ වි.

"ඒක එච්චර වැදගත් දෙයක්‌ නෙවි. වැදගත් දේ නුඹේ බිරිඳ ජීවත් වීමත්, සනීපෙන් සිටීමත් විතරයි. මම හරියට වද වුණා...."

"නුඹ ඇත්තට ම විශ්වාස කරනව ද මේ විදිහෙ පෘථිවියේ නොපිට පිටපතක්‌ පවතින බව?" මම ඇසුවේ කාරණය බරපතළ ලෙස ගනිමිනි.

"නුඹත් ඒක විශ්වාස කළා නෙ?" ඔහු කීවේ කපටි ස්‌වරයෙනි. "එහෙම නැත්නම් නුඹ මේ දම් පාට මමියේ ඉරණම ගැන ඔය තරම් හැඟීම් බර ව හිතන්නෙ නැහැ නෙ."

මම ව්‍යාකූල බවින් යුතු ව මඳ සිනා පෑවෙමි. ඒ ගැන යළි සිතා බැලුව හොත් මා මායා ගැන එතරම් බිය වූයේ මන්ද? අජටාකාශයේ සිට රේඩියෝ මඟින් අප වෙත ආ දර්පණ ප්‍රතිබිම්බයත් මගේ බිරිඳත් අතර සර්වසම වූ කිසිවක්‌ වී ද? සැබැවින් ම නැත.

"ප්‍රති-ලෝකයක පැවැත්ම විශ්වාස කරනවා නම් නුඹ තවදුරටත් මේ විශ්වයේ ඈත එපිටින් එන අරුම පුදුම සංඥා විශ්ලේෂණය කරමින් ඉදිරියට යන්න වුවමනායි. බාග විට නුඹ හොයන දේ ඒ විදිහට ම කවදා වත් නො ලැබෙන්නත් පුළුවන්. ඒ වුණත් නුඹට හමු වන දේවල් වැදගත් වෙන්නෙ...."

"මම සෙවීම නවත්තන්නෙ නැහැ." අන්ෙද්‍රdaව් කල්පනා බර ව කී ය. "ඒ වගේ ම වෙන ඈයොත් එහෙම කරා වි. ඒත් මගේ හිතට හොඳට ම වැදුණේ අර මමිය විච්ඡේදනය කරපු දොස්‌තර කිව්ව දේ. නුඹට මතක ද ඒක?"

"ඒ මොකද්ද?"

"පිටසක්‌වළ ඉන්න ඔය මිනිස්‌සු පරිමාමිතික සංඥා නම් එවන්න දන්නව ය, ඒත් ලිම්ෆොaසාකොමාවක්‌ සනීප කරන්න දන්නෙ නෑ කියල..."

"ඉතින් ?"

"අපි එහෙට යවන්න ඕනෑ ලිම්ෆොaසාකොමාවකට ප්‍රතිකාර කරන විදිහ ගැන විස්‌තර. ඒක ඉක්‌මනින් ම කරන්න ඕනෑ. ඒක එයාලට හරි ම වැදගත්..."

"කාට ද? කොහාට ද?"

"දම් පාට මමිය අපිට රේඩියෝ මාර්ගෙන් අපට එවපු මිනිස්‌සුන්ට."

"ඒ වුණාට ඒ සංඥාවලට අපි ගාවට එන්න ආලෝක වර්ෂ මිලියන ගණනක දුරක්‌ ගෙවන්න වුණා නේ?" මම විරෝධය පෑවෙමි.

බැම හකුළාගත් අන්ෙද්‍රdaව් ආඩතාඩේට හිස කැසුවේ ය.

සමාප්තයි.