logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


(ඊයේ - ඔක්‌. 10ට යෙදුණු මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙනි. මේ වසරේ එහි තේමාව වන්නේ 'රැකියා ස්‌ථානයේ මානසික සෞඛ්‍යය' යන්නයි)

රැකියා ස්‌ථානය හා මානසික සෞඛ්‍යය

මිනිස්‌ හැසිරීම් රටා අතර සංවිධාන චර්යාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. මෙය මානව හැකියාව පදනම් කරගෙන ගොඩනැඟී තිබෙන අතර මානව සම්පත් කළමනාකරණය ද මේ හා බැඳී පවතී. රැකියා යන්ත්‍ර සූත්‍ර, උපකරණ, බඩු භාණ්‌ඩ හා ගොඩනැගිලි පදනම් කරගෙන

රැකියා ස්‌ථානයක්‌ අර්ථවත් වන්නේ නැත. මේ සඳහා සුවිශේෂ වන්නේ මානව සම්පත් ය. එබැවින් මානව සම්පත් හා සංවිධාන චර්යාව පදනම් කරගෙන වෘත්තීය කටයුතු සංවිධානය වී තිබේ. මේ සම්බන්ධව කාර්මික මනෝවිද්‍යාව සහ වෘත්තීය උපදේශනය ක්‍රියාත්මක වන අතර එමඟින් රැකියා ස්‌ථානය තුළ සේවකයා ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ව්‍යවහාරික ක්‍රියා පිළිවෙත් අනුගමනය කරනු ලැබේ. ඕනෑ ම රැකියා ස්‌ථානයක්‌ ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීමට වෘත්තිකයන් ගේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයකින් පවත්වාගෙන යාම ඉතා ම වැදගත් වේ.

රැකියා ස්‌ථානයක්‌ තුළ

(i) නිෂ්පාදන (ii) සේවා

යනුවෙන් අංශ දෙකක්‌ දක්‌නට ලැබේ. මේ දෙඅංශය කෙරෙහි ම සේවකයා ගේ මානසික යහපැවැත්ම අතිශය වැදගත් වේ. ඒ අනුව වෘත්තීය උපදේශනය රැකියා ස්‌ථානයේ මානසික සුවපත්භාවය සඳහා ඉතා වැදගත් ක්‌ෂෙත්‍රයකි. මේ යටතේ,

රැකියා තෘප්තිය

රැකියා ආතති කළමනාකරණය

වෘත්තීය පෙලඹුම

වෘත්තීය අභිමානය

වෘත්තීය නිපුණතා ආදී ක්‌ෂෙත්‍ර සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත් වීම් සිදු කරනු ලැබේ.

සේවකයා ගේ මානසික සෞඛ්‍යය සඳහා මේ සියලු අංශ රැකියා ස්‌ථානය තුළ කළමනාකරණය වීම වැදගත් වේ. රැකියා ස්‌ථානයක සේවකයන් තුළ කෝපය, ආතතිය, කලකිරීම, බිය ආදී ඝෘණාත්මක මනෝභාවයන් පවතී නම් එවැනි රැකියා ස්‌ථානයක්‌ දිගුකාලීනව සංවර්ධනය වන්නේ නැත. ඒ අනුව වෘත්තිකයන් ගේ මෘදු කුසලතා සහ තාක්‌ෂණ කුසලතා සංවර්ධනය කිරීම සඳහා රැකියා ස්‌ථානයේ ආතති කළමනාකරණය, රැකිsයා තෘප්තිමත්භාවය වර්ධනය කිරීම, රැකියා පෙලඹුම (ඵදඑසඩ්එසදබ) වර්ධනය කිරීම හා වෘත්තීය අභිමානය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.

රැකියා තෘප්තිය කෙරෙහි සේවක මානසික සෞඛ්‍ය ඝෘජු ලෙස සම්බන්ධ වී තිබේ. රැකියා ස්‌ථානය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයන් සිටී නම් ඔවුන් සන්නිවේදනය කිරීම හා ප්‍රතිකාර සඳහා යොමු කිරීම වෘත්තීය උපදේශනයේ ප්‍රධාන කාර්යභාරයකි. විශේෂයෙන් ම සේවකයා ප්‍රමාද වී සේවයට පැමිණීම, රාජකාරි කටයුතු පිළිවෙළට නො කිරීම, වැඩි වශයෙන් නිවාඩු ගැනීම, වගකීම් පැහැර හැරීම, සේවකයන් හට අමානුෂික ලෙස සැලකීම හා රාජකාරිය තුළ ආවේගශීලී වීම

රැකියා ස්‌ථානයේ දක්‌නට ලැබෙන ගැටලු කිහිපයකි. මේ සඳහා,

ආතතිය භින්නොන්මාදය

උන්මාදය විෂාදය කාංසාව ආදී මානසික අවප්‍රමාණතා බලපානු ලැබේ.

කලකිරීමට පත් වන සමහර සේවකයන් අප රටේ සේවා ස්‌ථානය තුළ පවා සියදිවි නසාගෙන තිබේ.

මේ අනුව මානසික ගැටලු සඳහා සේවා ස්‌ථානය තුළ මනෝවිද්‍යා උපදේශනය සිදු කිරීමත්, ප්‍රධාන මානසික රෝග හඳුනාගෙන ඒ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමත්, උපදේශනය මඟින් මානසික ගැටලු සහිත සේවකයන් හට මනෝ - සමාජ මැදිහත් වීම් ලබා දීමත් සිදුකළ යුතු ය.

එබැවින් රැකියා ස්‌ථානයේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම උදෙසා පහත සඳහන් වැඩසටහන් දිගුකාලීනව යොදාගැනීම වැදගත් වේ.

මනෝවිද්‍යා වෘත්තීය උපදේශනය

මනෝවිද්‍යා ප්‍රතිකාර භාවිතය

සේවක චර්යා නිරීක්‌ෂණය හා මනෝවිද්‍යාත්මක මානය

මෘදු කුසලතා වර්ධනය

තාණ කුසලතා වර්ධනය

ආධ්‍යාත්මික සංවර්ධන මනෝචිකිත්සාවන්

පෞරුෂ වර්ධනය

චර්යා නවීකරණය

ආතති කළමනාකරණය

* ලංකාවේ මනෝ විද්‍යා උපදේශනයේ වර්තමාන ස්‌වභාවය හා අභියෝග

පසුගිය සමයේ දක්‌නට ලැබුණ ප්‍රවණතාවක්‌ වූයේ තරුණ තරුණියන් දිවි නසාගන්නට පෙලඹීමත් ඒවාට මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස ප්‍රචාරයක්‌ ලබා දීමත් ය. මේවා ගැන මනා කතිකාවක්‌ හෝ විසඳුම් දීමක්‌ වෙනුවට ඒවා අලංකාරකරණයට බඳුන් වීමක්‌ සිදු වී ය. අප ගේ අදහස නම් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම උපදේශන ප්‍රවේශයක්‌ බවයි.

මනෝවිද්‍යා උපදේශනය ව්‍යවහාරික මනෝවිද්‍යා ක්‌ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය විෂය ක්‌ෂේත්‍රයක්‌ වශයෙන් වත්මන් සමාජයේ ව්‍යාප්ත වී තිබේ. එය සායනික මනෝවිද්‍යාව, ප්‍රතිකාර මනෝවිද්‍යාව හා අසාමාන්‍ය මනෝවිද්‍යාවේ දැනුම පාදක කොටගෙන මානව ගැටලු විසඳීමේ ව්‍යවහාරික වෘත්තීමය ක්‍රියාදාමයක්‌ ලෙස හඳුන්වා දිය හැකි වේ. කෙසේ වුව ද වර්තමාන ලාංකීය සමාජය තුළ උපදේශනය ජනප්‍රිය වී ඇතත් ඒ පිළිබඳව ජනතාව තුළ යථාර්ථවත් අවබෝධයක්‌ නොමැති බව පැහැදිලි වේ. මානසික රෝග, මෝහන චිකිත්සාව වැනි සංකීර්ණ ක්‌ෂේත්‍ර පවා ජනතාව උපදේශනයට සම්බන්ධ කර තිබේ. රටේ බහුතරයක්‌ මිනිසුන් විවිධාකාර මනෝ සමාජ ගැටලුවලින් පෙළෙන නිසා උපදේශනය ආකර්ෂණීය විෂයක්‌ බවට පත් ව තිබෙන බැවින් වැඩි වශයෙන් එය මුදල් රැස්‌ කිරීමේ වාණිජ පිළිවෙතක්‌ බවට පත් වී, වැඩි වශයෙන් ජනතාව රැවටීමේ මාධ්‍යයක්‌ බවට පත් ව තිබේ. කලකිරීම, කේන්ති යැම, අලසකම, ඉලක්‌ක නොමැතිකම, අමතක වීම, දරුවන් පාසල් නො යැම, අධ්‍යාපන ගැටලු, පෞරුෂ ගැටලු, ආතතිය, පවුල් ගැටලු හා වෘත්තීය ගැටලු අප රටේ දිනෙන් දින වර්ධනය වේ. මේවා බොහොමයකට වෛද්‍ය විද්‍යාව අනුව ඖෂධ මගින් හෝ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව විසඳුම් සෙවිය නොහැකි නො වේ. වසර ගණනාවක්‌ දිගු කාලීන යුද්ධයක්‌ පැවැති රටක මිනිස්‌සු කලාතුරකින් හෝ ස්‌වාභාවික ව්‍යසනවලට මුහුණ දෙති. දිගින් දිගට ම මානව ව්‍යසන අප රටේ සිදු වෙමින් පවතී. විශාල පිරිසක්‌ මේවාට මුහුණ දෙන වින්දිතයන් වේ. මේවාට මුහුණ දීමේ දී විඳ දරාගැනීම, ගැටලු විසගැනීම, ස්‌වයං මෙහෙයුම් කුසලතා හා පෞරුෂ වර්ධනය අත්‍යවශ්‍ය වේ. මේවා උපදේශනයේ මූලික අංග වේ. පුද්ගල අන්තර් කුසලතා වර්ධනය කරමින් මනෝවිද්‍යා ප්‍රතිකාර ප්‍රවේශයන් මත මනෝවිද්‍යා ගැටලු විසඳීම උපදේශනයේ සක්‍රිය ක්‍රියාදාමය වේ. එසේ ම මෙය කෙටිකාලීන මනෝවිද්‍යා මැදිහත් වීම් ලෙස දැක්‌විය හැකි ය. එහෙත් අද වන විට ලංකාවේ බොහෝ උපදේශකවරුන් යෑයි කියාගන්නා පුද්ගලයෝ වෘත්තීමය නො වන ජනතාවටත් වඩා පහළ තත්ත්වයක සිටිති.

පාසල් යැම ප්‍රතික්‌ෂේප කරන දරුවකු පාසල් උපදේශකතුමිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල උපදේශකවරියට යොමු කර තිබීම මීට නිදසුනකි. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල උපදේශකවරිය එම දරුවාව රෝහලක වෛද්‍යවරයකුට යොමු කර තිබේ. එහි දී දරුවා ගේ මානසික තත්ත්වය විශ්ලේෂණයට බඳුන් කරන ලදී. මෙහි දී ලබාගත් දරුවා ගේ අදහසක්‌ අනුව පාසල් පරිසරයේ සුළු වෙනසක්‌ ඇති කරන ලද අතර ඒ හරහා පාසල් යැමට පොලඹවන ලදී. මේ ක්‍රියාදාමය මනෝවිද්‍යා උපදේශකවරයකු නො ව සාමාන්‍ය පුද්ගලයකුට පවා සරලව විසඳිය හැකි තත්ත්වයක්‌ විය හැකි ය.

මුදල් ගසා කන උපදේශකවරු

මනෝවිද්‍යා උපදේශකවරුන් ගේ ඇතැම් ක්‍රියාදාමයන් සමාජයේ හාස්‍යයට ලක්‌ වී තිබේ. තව ද වර්තමාන සමාජයේ මනෝ උපදේශකවරුන් ජනතාව ගේ ප්‍රශ්න විසඳීම වෙනුවට ඔවුන්ට අතුරු මනෝ සමාජ ප්‍රශ්න නිර්මාණය කර දී තිබේ. උපදේශනය මුවාවෙන් ඇතැමුන් මෝහනය කර අසීමිත ලෙස ජනතාව ගේ මුදල් ගසා කති. මෝහන චිකිත්සාව සාම්ප්‍රදායික මනෝ චිකිත්සක ක්‍රමවේදයක්‌ වන අතර එමඟින් සියලු මනෝවිද්‍යා ගැටලු විසගත හැකි නො වේ. එහෙත් එම විෂයට මිනිසුන් ආකර්ෂණය වී ඇති නිසා ඒ තුළින් මිනිසුන් රවටා මුදල් රැස්‌ කරන පුද්ගලයෝ ද වෙති. ඉක්‌මනින් පොහොසත් වීම, විභාගය ජයගැනීම හා මත්පැන්, මත්ද්‍රව්‍ය නතර කිරීම තේමා පාඨ කරගත් ව්‍යාජ උපදේශකවරුන් ගේ ආකර්ෂණීය, මෝහනීය ප්‍රකාශන හා දැන්වීම් සමාජයේ වඩා ජනප්‍රිය විය. තවත් කලක්‌ "ඔව් මට පුළුවන්" කියා ධන චින්තනය අවදි කරමින් මිනිසාට චින්තන ශක්‌තිය දී දෙපයින් සිටගැනීමට ශක්‌තිය දුන්න ද අද මිනිසුන් එවැනි දේ එතරම් විශ්වාස කරන්නේ නැත. මත්පැන්, මත්ද්‍රව්‍ය ගැටලු, මුහුණු පොත, පරිගණක ක්‍රීඩා සහ අන්තර්ජාල ධුර්තය ආදී චර්යාත්මක ඇබ්බැහිකම් රාශියකට වත්මන් තරුණ සමාජය පත් ව තිබේ. මේවා විසඳීමට මෙකී උපදේශකවරුන්ට හැකි වේ ද?

අප රටේ වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යවරයා අඩු ම වශයෙන් පිළිගත් වෛද්‍ය උපාධියක්‌ ලබා තිබේ ද යන්න ජනතාව බොහෝ දුරට දැනුවත් වී තිබේ. මේ දිනවල පෞද්ගලික වෛද්‍ය උපාධියෙහි ගුණාත්මකභාවය පිළිබඳ දැවැන්ත අර්බුදකාරී තත්ත්ව පැන නැගී තිබේ. කෙසේ වුව ද මනෝ උපදේශකවරයා ද පුද්ගලයා ගේ ජීවිතය සම්බන්ධ ක්‍රියාවලියක නිරත වන බැවින් ඔවුන් ගේ සුදුසුකම් පිළිබඳ සමාජ කතිකාවතක්‌ නොමැති වන්නේ කා ගේ වරදක්‌ නිසා ද? සමාජ මන්දබුද්ධිකභාවය නිසා ද?

1. වෘත්තීය මනෝ උපදේශකවරයා මනෝවිද්‍යාව පිළිබඳව අධ්‍යාපනයක්‌ හෝ ඒ පිළිබඳ උපාධියක්‌ ලබා තිබිය යුතු ය. එසේ නැතිනම් මනෝවිද්‍යාව සම්බන්ධ චර්යා විද්‍යා ගණයට අයත් සමාජ විද්‍යාව හෝ මනෝවිද්‍යාවේ මවු ශාඛාව වන දර්ශනය වැනි විෂයන් හැදැරිය යුතු ය.

2. උපදේශකවරයා උපදේශනය පිළිබඳ මූලික පුහුණුවක්‌ ලබා තිබිය යුතු ය. අවම වශයෙන් වසරක වත් උපදේශනය පිළිබඳ න්‍යායාත්මක, ප්‍රායෝගික හා සායනික වශයෙන් මේ පුහුණුව ලබා තිබිය යුතු ය.

3. මේ ක්‌ෂේත්‍රය පිළිබඳ වසර දෙකකට වඩා වැඩි සායනික හෝ මනෝ විද්‍යාත්මක අත්දැකීම් ලබා තිබීම වැදගත් වේ.

මෙයට අමතරව උදේශකවරයා තුළ

වාචික හා අවාචික සන්නිවේදන කුසලතා

සහකම්පන කුසලතා

ගැටලු විසඳීමේ කුසලතා

මනෝ ප්‍රතිකාර ප්‍රවේශ පිළිබඳ දැනුම හා භාවිතයන්

සායනික ලේඛන සැකසීම

වාර්තා තබා ගැනීම

කණ්‌ඩායම් වැඩ

පුනරුත්ථාපන ක්‍රම උපායන් පිළිබඳ නිපුණතා

ආදී කුසලතා පැවතීම වැදගත් වේ. මේවා කිසිවක්‌ නොමැති ව අප රටේ මනෝ උපදේශකවරයන් ලෙස රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික අංශයේ ද පුද්ගලයන් කටයුතු කරනු දක්‌නට ලැබේ. ඇතැම් පුද්ගලයන් මෝහනය පිළිබඳ පාඨමාලා පවා පවත්වන්නේ සායනික මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ ඇති ව නො වේ. ලංකාවේ විශ්වවිද්‍යාල තුළ පවා මනෝ උපදේශන සේවාවෙහි යෙදෙන ඇතැම් උපදේශකවරුන් පුරාවිද්‍යාව හෝ සිංහල හෝ පිළිබඳ උපාධිධාරීන් ය. මොවුන් අවුරුද්දක ඩිප්ලෝමාවක්‌ නිම කර උපදේශකවරුන් ලෙස කටයුතු කරනු දක්‌නට ලැබේ. රජයේ පාසල්වල උපදේශනය පවත්වාගත යුතු නිසා දින දෙක තුනක්‌ පවත්වන වැඩමුළු මගින් පුහුණු වු උපදේශකවරුන් කටයුතු කිරීම ද දක්‌නට ලැබේ. පාසල්වල ආචාර්ය මණ්‌ඩල සාමාජිකයකු ලවා මනෝ උපදේශනය දීම සාර්ථක නො වේ. මන්ද යත් පාසල් සිසුන් උපදේශකවරයා දෙස බලන්නේ ගුරුවරයා දෙස බලන දෘෂ්ටිකෝණයෙන් ය. ඇතැම් රාජ්‍ය ආයතනවල මනෝ උපදේශකවරු වෛද්‍යවරුන් ලෙස හැසිරෙති. තවත් සමහරුන් උපදේශන සේවා සැපයීම පසෙක ලා වැඩමුළු සංවිධානය කරති. බොහෝ පාසල්වල අධ්‍යාපන මට්‌ටම පිරිහීමට හේතු, දරුවන් ගේ සදාචාර චර්යාව පිරිහීමට හේතු අධ්‍යයනය කිරීම වත් සිදු වන්නේ නැත.

රජයේ බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් මාපිය රැස්‌වීම් සඳහා කැඳවන දේශකවරුන් විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරුන් යෑයි කියනු ලැබේ. ඔවුහු මනෝ වෛද්‍යවරුන් ලෙස හැසිරෙති. උපදේශකවරුන් යෑයි කියාගනිති. කිසිදු පිළිගත් ආයතනයක නිල නාමයක්‌ සඳහන් නො කරන මොවුන් මානව සම්පත් ප්‍රවර්ධක, ධන චින්තක, මානව හැකියා විශේෂඥ, පෞරුෂ විශේෂඥ ආදී තනතුරුවලින් තමන් හඳුන්වා දෙති. අවසානයේ කසිකබල් පොත්, සී.ඩී. පට විකුණන ජාවාරමක යෙදෙති. මොවුහු දරුවන් ගේ ගැලවුම්කරුවන් ලෙස ද පෙනී සිටිති. රජයේ අධ්‍යාපන අධ්‍යවරුන් හා විදුහල්පතිවරුන් තුළ ද මනෝ උපදේශනය පිළිබඳ අවබෝධයක්‌ නොමැතිකම මෙවැනි දේ තුළින් පැහැදිලි වේ. තවත් සමහරුන් මනෝ විද්‍යාඥයන් ලෙස පෙනී සිටිමින් නිර්භය ලෙස විශ්වවිද්‍යාල දැන්වීම් පුවරුවල උපදේශන පාඨමාලා පිළිබඳ දැන්වීම් පළ කිරීමෙන් මනෝවිද්‍යාව හදාරන සිසුන්ගේ හාස්‍යයට පත් වී තිබේ.

උපදේශනය රටේ සංවර්ධනය සඳහා දායක වන්නේ කෙසේ ද?

රටක ජනතාව කායික වශයෙන් මොන තරම් නිරෝගී වුව ද මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න නො වේ නම් එය රටේ සංවර්ධනයට බාධාවකි. මානසික යහපැවැත්ම පිරිහීම නිසා රටක දිවිනසාගැනීම, සියලු ආකාරයේ අපරාධ වැඩි වේ. එසේ ම අයහපත් අංශවලට ජනතාව ඇබ්බැහි වේ. මෙවැනි තත්ත්වයක්‌

ජනතාව ගේ රසවින්දනයට බාධාකාරී වේ.

නිර්මාණශීලිත්වයට බාධා වේ.

මෘදු කුසලතා හා තාක්‌ෂණ කුසලතාවලට බාධාකාරී වේ.

තීරණ ගැනීම, ස්‌වයං මෙහෙයවීම, නායකත්ව හැකියා සදහා සෘණාත්මක බලපෑම් එල්ල වේ.

මේ නිසා රටේ ජනතාව දුකට, බියට, කෝපයට පත් වීමෙන් සමාජ පරිහානිය ඉක්‌මනින් ක්‍රියාත්මක වේ. එය මානසික සෞඛ්‍යය බිද වැටීමට බලපානු ලැබේ.

උපදේශනය මගින් පුද්ගලයා ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සදහා ධනාත්මක මගපෙන්වීමක්‌ කරනු ලැබේ. එය සුබවාදී ව සිතීමට, නිරවුල් තීරණ ගැනීමට, මානසික ගැටුම් නිරාකරණය කරගැනීමට, කුසලතා වර්ධනය කරගැනීමට දායක වේ. එය පොදුවේ පවුල් ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් සාර්ථක කරගැනීමට හේතු වේ. කායික හා මානසික රෝගවලින් නො පෙළුණත් බොහෝ මිනිසුන් වර්තමානයේ ජීවත් වන්නේ මානසික ආතතියෙන් යුක්‌තව ය. එය නිශ්ශබ්ද මාරයෙකි. මන්ද එය මානසික සෞඛ්‍ය පිරිහීමට හේතුවක්‌ වන නිසා ය. එබැවින් මිනිසා ගේ සංවර්ධන චර්යාව රටේ සංවර්ධනය සමග සෘජු ලෙස සම්බන්ධ වී තිබේ. මේ සංවිධාන චර්යාව යටතේ

වෘත්තීය ආතතිය අවම කිරීම.

වෘත්තීය තෘප්තිමත්භාවය වැඩි කිරීම.

වෘත්තිය පෙලඹුම හා පෙලඹුම් ඵලය (MQ) වැඩි දියුණු කිරීම.

වෘත්තීය කුසලතා හා තාක්‌ෂණ කුසලතා දියුණු කිරීම.

මෘදු කුසලතා වෘත්තීය නිපුණතාව කෙරෙහි යොදා ගැනීම.

පෞරුෂ සංවර්ධනය.

ආදී කරුණු වැදගත් වේ. මේ තුළින් පුද්ගලයා ගේ වෘත්තීය ජීවන රටාව තුළ

1. කාර්යක්‌ෂමතාව

2. ඵලදායීතාව වර්ධනය කරනු ලැබේ.

තව ද ඉහත කරුණු ක්‍රියාත්මක කිරීම සදහා ආයතනික හෙවත් කාර්මික උපදේශනය රටක සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය වේ. දුක්‌ගැනවිලි කළමනාකරණය ද මෙයට අයත් විෂය ක්‌ෂේත්‍රයක්‌ වී තිබේ. පවුල් ඒකකයන්, වෘත්තීය ජීවිතයන් තෘප්තිමත් වන විට සාර්ථක පුද්ගලයකු බිහි වනවා මෙන් ම සංවර්ධිත සමාජයක්‌ බිහි වේ. මේ සදහා,

1. ආකල්ප සිතිවිලි වෙනස්‌ කිරීම.

2. චර්යා රටා වෙනස්‌ කිරීම.

3. ඉලක්‌ක ගොඩනැගීම.

ඇතුළු ප්‍රජානන සංවර්ධනය (Cognitive Development) වැදගත් වේ. මේ සදහා ප්‍රජානන චර්යා උපදේශනය (Cognitive Behavior Counselling) ද ක්‍රියාත්මක වේ.

බොහෝ රාජ්‍ය ආයතන සංවර්ධනය කිරීමේ ගැටලුවක්‌ වන්නේ ආකල්ප වෙනස්‌ වීම පිළිබද ගැටලු ය. සේවකයන් අතර ගැටුම්, සේවකයන් හා ප්‍රධානීන් පිළිබද වැරදි අවබෝධය, පුද්ගල හා ආයතනික ඉලක්‌ක පිළිබද ගැටලු, සාධන මට්‌ටම හා මෘදු කුසලතා පිළිබද අනවබෝධය, ජීවිත කළමනාකරණය පිළිබද ගැටලු දැකගැනීමට පුළුවන.

රටේ සංවර්ධනය සඳහා කාර්මික චර්යාව මෙන්ම පවුල් ජීවිතය ද ඉතා වැදගත් වේ. මේ නිසා රටක පවුල් උපදේශනය හා පවුල් ප්‍රතිකාර (Family Counselling and Family Therapy) සංවර්ධනය විය යුතු ය.

තව ද පුද්ගල ප්‍රජානන සංවර්ධනය හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා

ලිහිලන සංයම අභ්‍යාස

සංගීත චිකිත්සනය හා රසවින්දනය

ආධ්‍යාත්මික ප්‍රතිකාර

ආදී ක්‍රමවේදයන් රටක සමාජ අභිවෘද්ධිය සඳහා වැදගත් වේ. එසේ නැතිනම් මිනිසුන් යන්ත්‍ර බවට හෝ යන්ත්‍රවල කොටස්‌ බවට පත් වී සමාජ පරිහානිය ඇති කරවයි. මේ අනුව මනෝ උපදේශනය යටතේ

1. ද්වේශ කළමනාකරණය.

2. ආතති කළමනාකරණය.

3. ජීවිත කළමනාකරණය.

ක්‍රියාත්මක කිරීමෙන් ද සමාජ සුවපත්භාවය ඇති කළ හැකි ය. මෙවැනි කාර්යයන් සඳහා උපදේශනය පිළිබඳ සුදුසුකම් සහිත පුහුණු උපදේශකවරුන් අවශ්‍ය වේ.

මහාචාර්ය ඥනදාස පෙරේරා
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය