logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


2017 වසරේ භෞතික විද්‍යා නොබෙල් තෑග්ග ගුරුත්වාකර්ෂණ තරංග අනාවරණයටයි

භෞතික විද්‍යාව සඳහා 2017 වසරේ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ජාතික විද්වතුන් තිදෙනකුට හිමි වන බව ස්‌වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියේ නොබෙල් සම්මාන කමිටුව පසුගිය සතියේ නිවේදනය කළේ ය.

ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‌ෂණය වෙනුවෙන් ලබා දුන් අනගි හා තීරණාත්මක දායකත්වය වෙනුවෙන් මේ සම්මානයට හිමිකම් කියන්නේ රේනර් වයිස්‌, බැරී සී. බාරිෂ් හා කිප් එස්‌. තෝර්න් යන තිදෙනා ය.

මේ වසරේ ත්‍යාගයෙන් හරි අඩක්‌ රේනර් වයිස්‌ටත් අනෙක්‌ අර්ධය සමසේ බැරී සී. බාරිෂ් හා කිප් එස්‌. තෝර්න්ටත් පිරිනැමෙනු ඇත. මේ විද්වතුන් තිදෙනා ම ඇමෙරිකාවේ LIGO (Laser Interferometer Gravitational-Wave Observatory) ලේසර් නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‌ෂකාගාරයේ ප්‍රධාන භූමිකාවන්ට හිමිකම් කියති.

1932 වසරේ ජර්මනියේ බර්ලින්හි දී උපත ලද රේනර් වයිස්‌ට ලේසර් නිරෝධනමාන තාක්‌ෂණය සොයාගැනීමේ ගෞරවය හිමි වේ. වර්ෂ 1936 දී ඇමෙරිකාවේ ඔමාහා හි දී උපත ලද බැරී සී. බාරිෂ් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ගුරුත්වාකර්ෂණ තරංග පිළිබද විශේෂඥයෙක්‌ ද වේ.

අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදයට අදාළ තාරකා භෞතික විද්‍යාත්මක සම්බන්ධයන් පිළිබද ලොව පළමු පෙළ විශේෂඥයකු වන කිප් එස්‌. තෝර්න් උපත ලබා ඇත්තේ වර්ෂ 1940 ඇමෙරිකාවේ ලෝගන්හි දී ය.

2016 පෙබරවාරි මස 16 වැනි දින ඇමෙරිකාවේ LIGO සහ යුරෝපයේ Virgo (Virgo යනු ද නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ තරංග අනාවරකයකි) විද්‍යාත්මක සහයෝගීත්වය විසින් ඔවුන් විසින් ගුරුත්වාකර්ෂණ තරංගවල පළමු නිරීක්‌ෂණය සිදු කරන ලද බව නිවේදනය කරන ලදි. මේ නිරීක්‌ෂණ සිදු කර තිබුණේa 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනි දින ඇමෙරිකාවේ එකිනෙකින් දුරස්‌ථ ස්‌ථාන දෙකක පිහිටි සර්වසම LIGO අනාවරක යුගලක්‌ භාවිත කරගනිමිනි. මෙලෙස නිරීක්‌ෂණය වූ ගුරුත්වාකර්ෂණ තරංග හටගෙන තිබුණේ වසර බිලියන 1.3කට ඉහත දී එකිනෙක ගැටුණු කළු කුහර ද්විත්වයක බලපෑමෙනි. මේ කළු කුහරවලින් එකක ස්‌කන්ධය හිරු ගේ ස්‌කන්ධය මෙන් 35 ගුණයක්‌ වන අතර අනෙක ඊට වඩා මදක්‌ ස්‌කන්ධයෙන් අඩු ය.

මේ නිරීක්‌ෂණය මඟින් තහවුරු වූයේ අයින්ස්‌ටයින් විසින් සියවසකට පෙර පවසන ලද අනාවැකියකි. එනම් විශාල ගැටුම් සහිත සිද්ධීන්වල දී කාල අවකාශ වියමන එය විසින් ම ඇදීමට සහ මිරිකීමට භාජන වෙමින් පොකුණක රැළිති ඇති වන ආකාරයට සමානව විශ්වය හරහා යන ගුරුත්වාකර්ෂණ කම්පනයන් නිදහස්‌ කරන බවයි. මේවා ආලෝකයේ ප්‍රවේගයෙන් තම ප්‍රභවයෙන් පිටතට සම්ප්‍රේෂණය වන බව පැවසිණි.

ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම පිළිබදව මුල් වරට සාකච්ඡා කෙරුණේ 1893 දී ය. 1916 දී අයින්ස්‌ටයින් විසින් ඔහු ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය භාවිතයෙන් අනුමාන කරන ලද පරිදි, ගුරුත්වාකර්ෂණ තරංග ශක්‌තිය සම්ප්‍රේෂණය වනුයේ විකිරණ ශක්‌තියේ එක ආකාරයක්‌ වන ගුරුත්වාකර්ෂණ විකිරණ ලෙස ය. මේවා විද්යුත් චුම්බක විකිරණවලට සමාන වේ. ගුරුත්වාකර්ෂණ තරංග අනාවරණය මගින් විශ්වයේ 'අඳුරු' පෙදෙස්‌ හෙවත් දෘෂ්‍ය ආලෝකය නිකුත් නො වන ස්‌ථාන හා කාලයන් අධ්‍යයනය සඳහා නව පිවිසුම් මාර්ග විවර වී තිබේ. ගුරුත්වාකර්ෂණ තරංග විසින් විශ්වයේ ස්‌ථිර සලකුණක්‌ ඇති කරන ලද යෑයි විද්‍යාඥයන් විශ්වාස කරන වසර බිලියන 13.7කට පෙර සිදුවූ මහා පිපුරුමෙන් පසු ඉකුත් වූ තත්පර දශමයන් ද මෙයට ඇතුළත් ය.

කිලෝමීටර 4ක්‌ දිග එකිනෙකට ලම්බක බට යුගලයකින් සමන්විත LIGO 'නිවුන්' අනාවරක දෙකෙන් එකක්‌ වොෂින්ටනයේ හැන්ෆර්ඩ්හි ද, අනෙක ලුසියානාවේ ලිවින්ග්ස්‌ටන්හි ද ස්‌ථානගත කොට තිබේ.

මාධ්‍ය හමුවක දී අදහස්‌ දැක්‌වූ වයිස්‌ ප්‍රකාශ කර සිටියේ ප්‍රථම වරට මේ නිරීක්‌ෂණය සිදු කළ අවස්‌ථාවේ සිය මුල් ප්‍රතිචාරය වූයේ 'අවිශ්වාසය' බවයි. "මෙය ලොව හෙල්ලූ සොයාගැනීමක්‌" යෑයි මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් භෞතික විද්‍යාව පිලිබඳ නොබෙල් කමිටුවේ සාමාජිකාවක වන ඔල්ගා බෝට්‌නර් ප්‍රකාශ කර තිබේ.

මේ නිරීක්‌ෂණයෙන් පසුව දැනට ලොව ග්‍රහලෝක සහ විශ්වය පිළිබදව පවතින මතවලින් ඔබ්බට ගොස්‌ වෙනස්‌ අයුරකින් විශ්වය අධ්‍යයනය කරන්නට මගපෑදී ඇත.

වර්ෂ 1895 නොවැම්බර් මස 27 වැනි දින සිය අවසන් කැමැති පත්‍රය අත්සන් කරමින් ඇල්ෆ්‍ර‍රඩ් නොබෙල් තමා සතු වූ මහා ධනස්‌කන්ධය ලොව විවිධ ක්‌ෂේත්‍ර උදෙසා මහඟු සේවයක්‌ ඉටු කරන විද්වතුන් උදෙසා ත්‍යාග පෙළක්‌ ලබා දීම වෙනුවෙන් වෙන් කළ අතර ඔහු ඒ සඳහා සිය පළමු කැමැත්ත වූ භෞතික විද්‍යා ක්‌ෂේත්‍රයේ සම්මානය හිමිවිය යුත්තේ 'භෞතික විද්‍යාව වෙනුවෙන් කළ හොඳ ම සොයාගැනීම හෝ නිපදවීම හෝ වෙනුවෙන්' බව සඳහන් කර තිබේ.

දෙව්නි යසාරා ඒකනායක