logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පොලිතීන් තහනම පිළිබද පසු විපරමක්‌

යහපත් සංකල්පනා මත සිදු කෙරෙන සමහර ව්‍යාපෘති පවා ඇතැම් විට අත්පත් කර දෙන්නේ යහපත් ප්‍රතිපල ම නො වේ. ආණ්‌ඩුව පොලිතින් තහනමක්‌ ගෙන එන විට ඇත්තට ම පරිසරයට ආදරය කරන බොහෝ දෙනකුට ලොකු සතුටක්‌ දැනිණි. ඒ, මෙය මගින් හෝ පොලිතින් නිසා පරිසරයට වූ හානිය මගහැරෙතැයි කියා ය. එහෙත් අද වන විට වී ඇත්තේ ඒ ප්‍රශ්නය තව දුරටත් අවුල් වී යාමක්‌ දැයි කෙනකුට සිතිය හැකි ය.

එක්‌ පැත්තකින් අහිතකර යෑයි හැදින්වෙන පොලිතීන් තවමත් සමාජය තුළ බහුලව සංසරණය වෙමින් පවතී. දෙවනුව පොලිතින් තහනම පිට දමමින් තක්‌කඩි වෙළෙන්දන් හා වෙළෙඳ සංගම්, බත්පැකට්‌ එකේ සිට වෙනත් බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයන්හි මිල වැඩි කර තිබේ. මේ ලේඛකයා විසින් පෞද්ගලිකව ම සොයා බලන ලද ස්‌ථාන කීපයක ම බත් පැකට්‌ එකේ මිල පොලිතින් නිසා ම රුපියල් 8 සිට 10 දක්‌වා වූ අගයකින් ඉහළ නැග තිබිණි. මෙය බඩු මිල නිසා ගහෙන් වැටී සිටින අසරණ පාරිභෝගිකයාට ගොනා ඇන්නා වැනි දෙයකි. පරිසරය වෙනුවෙන් රුපියල් 10 යනු කඡ්ජක්‌ දැයි කෙනකු තර්ක කරන්නට ඉඩ තිබේ. එහෙත් දුප්පතකුට රුපියල් 10 පවා ලොකු අගයකි.

මෙහි දී අප ගේ අදහස වන්නේ හෝටල් හිමියන් ඇතුළු වෙළෙඳුන් රැල කල දුටු කල වළ ඉස ගැනීමේ ක්‍රියාවක නිරත වන බවයි. ලංකාවේ සිටින වෙළෝද කුලය බොහෝ විට මඩිය තර කරගන්නේ මෙවැනි අවස්‌ථා හරහා ය. බත් පැකට්‌ එකකට රුපියල් 8ක්‌ 10ක්‌ වැඩි කළේ ඇයි දැයි අප මෙවැනි එක්‌ හෝටල්කරුවකු ගෙන් විමසූ විට ඔහු කීවේ දැන් බත් ඔතන්නේ පරිසර හිතකාමී පොලිතීන්වල බවත්, එයට යන අමතර වියදම බත් පතට එක්‌a කරන බවත් ය. ඔවුන් ඔතන්නට ගන්නා පොලිතින් දවටන රුපියල් 10ක්‌ මිල නො වන නිසා රුපියල් 10කින් බත් මුල වැඩි කිරීම අසාධාරණ නො වේ දැයි විමසූ විට දෙන පිළිතුර වන්නේ "එපා නම් යන්න" කියා ය.

සමහර හෝටල් හිමියන් බත් මුල්වල මිල පමණක්‌ නො ව ඇතුළත සිට ගන්නා බත් පිගානක (Take in) මිල පවා පොලිතින් තහනම නිසා ම වැඩි කොට තිබේ. එයට හේතුව ලෙස ඔවුන් කියන්නේ කලින් පොලිතින් එකක්‌ දමා පිගානකට කන්නට දුන් විට එය සේදීමට අවශ්‍ය නො වන බවයි. පොලිතින් කොළයක්‌ පිගානකට දමා කන්නට දුන් විට කිසිදු කරදරයකින් තොර ව ඊළග කෙනාට ද එම පිගානට ම කෑම දිය හැකි බව කඩකාරයෝ කියති. ඔවුනට අනුව එම පොලිතින් එකකට යන්නේ ශත 50ක්‌ වැනි මුදලකි. ශත පනකට කවුරු වත් පිගානක්‌ සෝදන්නේ නැති බව ඔවුහු කියති. පිගානක්‌ සේදීමට යන මිල කවුරුන් වත් ගනණය කර නැතත් අප සමග කතා කළ මුදලාලිලා කියා සිටියේ පිගන් සෝදන්නට සේවකයකු වෙන ම ගත යුතු බවයි. එසේ ම සමහර සේවකයන් අනුන් කෑ පිගන් සේදීමට අකැමැති බව ද ඔවුහු කියති. සබන් හා වතුරට යන මිල ද මීට එක්‌ කළ යුතු බව ඔවහු කියති. මේ මිල වැඩි කිරීම් කේවල ව සිදු වන්නේ ද නැත හොත් සංවිධානාත්මක ව සිදු වන්නේ දැයි විමසා බලන කල අපට පෙනී ගියේ ඒ කෙරෙහි කිසියම් සංවිධානාත්මක බලපෑමක්‌ ද පවතින බව ය.

අප හා කතා කළ ආපනශාලා කීපයක ම හිමිකරුවන් පැවසුවේ ඒ මිල වැඩි කිරීම් සදහා සමස්‌ත ලංකා කැන්ටින්කරුවන් ගේ සංගමයේ බලපෑම ද හේතු වූ බවයි. එහෙයින් අපි එම සංගමයේ සභාපති අසේල සම්පත් සමග කතාබහක නිරත වීමු. පහත දැක්‌වෙන්නේ ඔහු දැක්‌වූ අදහස්‌ ය.

පොලිතීන් තහනමට එරෙහිවයි කෑම මිල වැඩි කළේ - අසේල සම්පත්

"මම නිර්භීතව ම කියා සිටිනවා රුපියල් 10කින් බත් පැකට්‌ එක වැඩි කරන්න කියා දන්වා සිටියේ මා බව. එයට හේතු කීපයක්‌ තියෙනවා. මූලිකව ම මේ දේ කළේ පොලිතින් තහනමට එරෙහි වයි. දෙවනුව අප ගේ කැන්ටින් කර්මාන්තය

රැකගන්නයි. ඒ වගේ ම පාරිභෝගිකයා ගේ පැත්තෙනුත් ගොඩක්‌ හිතලයි මේ දේ කළේ. පළමුවෙන් ම කියන්න ඕන මේ පොලිතින් තහනම අසාර්ථක ඒ වගේ ම ජන පීඩක ක්‍රියාවක්‌. රුපියල් දහයකින් වැඩි කළේ කැන්ටින්වල අපට මේ තහනම නිසා රුපියල් දහයකට වඩා වියදම් වන නිසයි. අලුතින් හදුන්වා දෙන ලද හොද යෑයි කියන පොලිතින් එක රුපියල් දෙකට තුනට නැහැ. එය රුපියල් 8ක්‌ හෝ 9ක්‌ වනවා. ඒ වගේ ම ඇතුළට දමන කොළයට රුපියලක්‌ වැය වනවා. දහයක්‌ වැඩි නො කර බැහැ. පිගානකට ලන්ච් ෂීSට්‌ දමන්න එපා කියා මේ අය කියනවා. මිනිස්‌සු කැමැතිs පිරිසිදු පිගානක කන්න. හෝද හෝද ගන්න පිගානක්‌ ගැන මිනිසුන්ට විශ්වාස නැහැ. ඒ වගේ ම අපටත් පාඩුයි. හෝටලයක පිගන් හෝදන්න වෙන ම සේවකයකු තියාගන්න වෙනවා. ඊට දවසකට රුපියල් 1500 සිට 2000ක්‌ දක්‌වා ගණනක්‌ යනවා. ඊට වඩා කොතරම් පහසු ද ලන්ච් ෂීට්‌ එකක්‌ දමා දෙන එක. ඒ විතරක්‌ නෙමේ, මේ තහනම නිසා අපේ කර්මාන්තය අනතුරේ. කර්මාන්ත ශාලා හා වැඩ බිම් ඉදිකිරීම් ආශ්‍රිත ව චීන මිනිස්‌සු හරියට ඉන්නවා. ඔවුන් තේ බොන්නේ ෂොපින් බෑග්වල. මේ අය කැමැති නැහැ කෝප්පවල බොන්න. ප්‍රායෝගිකව දෙන්නත් බැහැ. මේ විදිහට ෂොපින් බෑග්වල දැමූ තේ ලක්‍ෂ ගණනක්‌ අලෙවි වනවා. මේ තහනම එක්‌ක ඒ ව්‍යාපාර අහෝසි වෙනවා. පවුල් විශාල සංඛ්‍යාවක්‌ අනාත වනවා. මධ්‍යම පරිසර අධිකාරිය මේ තීරණයට එද්දි අපි වාගේ පාර්ශ්ව සමග සාකච්ඡා කරල අදහස්‌ ලබාගත්තේ නැහැ.

අපි මේ පොලිතින් තහනම ජනපීඩාක්‌ බව පෙන්වන සම්මන්ත්‍රණයක්‌ පැවැත්වූවා. එයට අප මධ්‍යම පරිසර අධිකාරියට ආරාධනා කළා. ඔවුන් පැමිණියේ නැහැ. අනෙක දැන් ඔවුන් මේ හොදයි කියන පොලිතින් ගැන කොහොම ද විශ්වාස කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනක දී මධ්‍යම පරිසර අධිකාරිය හොදට දිරනවා කියන මේ පොලිතින් වළලලා යළි ජනවාරි 01 වැනිදට ගොඩගන්න. එතකොට අපට පුළුවන් මේවා දිරනව ද කියා බලන්න. අපි මේ අයට යෝජනා කළේ දැනට තියෙන ලන්ච් ෂීට්‌ තහනම් නො කර ඒවා දෙතුන් වරක්‌ පවිත්‍ර කරමින් භාවිත කරන ක්‍රමයකට යමු කියා. ඒ වගේ ම නො දිරන පොලිතින් තහනම් නො කර ඒවායින් ටයිල් මල් පෝච්චි වගේ දේ හදමු කියා. ඒවාට කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. අනෙක්‌ කරුණ තමයි මේ අය අලුතෙන් හදුන්වා දී තිබෙන සමහර පොලිතින් ආදේශක දුර්ගන්ධයෙනන් යුක්‌තයි. ඒවා කොහොම ද ආහාර ඔතන්න ගන්නේ?"

පිට රටින් ගෙන්වන පොලිතින්වල ප්‍රමිතිය ගැන විශ්වාස කරන්නේ කොහොම ද? - අනුර විමසයි

පොලිතින් නිෂ්පාදකයන් ගේ හා ප්‍රතිචක්‍රිකරණ කරුවන් ගේ සංගමයේ සභාපති අනුර

විඡේතුංග මහතා පෙන්වා දෙන්නේ රජය පොලිතින් පිටරටින් ගෙනෙන්නට පටන්ගෙන ඇති බවත් එය නිරර්ථක ක්‍රියාවක්‌ බවත් ය.

"රජය අපට දින 45ක කාලයක්‌ දුන්නා, අප බදු ගෙවලා ගෙන ආ බඩු ටික විකුණගන්න. ඒත් ඒ අතර ම රජය චීනෙන් පොලිතින් ආනයනය කරනවා. දැන් මේ ආනයනය කරන දේවල ප්‍රමිතිය තීරණය කරන්නෙ කවුද? අපේ රටේ බලධාරීන්ට ඒ සදහා උපකරණ හෝ දැනුම හෝ තිබෙනව ද? ඇයි ලංකාවේ අයට Biostarch කියන ලන්ච් ෂීට්‌ හදන්න උදව් නො කර පිටරටින් ගෙන්වන්නෙ. Biostarch කිව්වට විශාල පරාසයක ප්‍රභේද තිබෙනවා. මේවා ටොන් එකක්‌ ඩොලර් 1900 සිට තියෙනවා. ඉතින් අපි කොහොම ද විශ්වාස කරන්නේ බාල දෙයක්‌ නො ලැබෙයි කියා. චීනය හදන සෙල්ලම් බඩු පවා බාලයි නෙ. ලංකාවේ තැනක නිෂ්පාදන සිදු වුණා නම් මධ්‍යම පරිසර අධිකාරියට ගිහින් මේවා පරීක්‌ෂා කර බලන්න තිබුණා. දැන් ඔය තත්ත්ව සහතික වගේ දේවල් පරිගණක මගින් කෘත්‍රිමව සකසන්න පුළුවන්. ලංකාවේ මේ තත්ත්ව පරීක්‌ෂාවට විද්‍යාගාර පහසුකම් නැහැ. ඉතින් මේක හරි අවුලක්‌. මේ වගේ ලොකු වැඩ කරන්න ඉස්‌සරවෙලා ක්‍රමවේදයන් හදන්න ඕනේ. අන්තිමට සිදු වුණේ පොලිතින් ව්‍යාපාරයට සම්බන්ධ පවුල් ලක්‌ෂ ගණනක්‌ අමාරුවේ දමා පාරිභෝගිකයන් ද අපහසුතාවට පත් කළ එක විතරයි. අඩු ම ගණනේ රජය මේ ව්‍යාපාරිකයන්ට යම් සහනයක්‌ ලබා දෙන්න ඕනේ."

පරිසර හිතකාමී ආදේශකවලට අතහිත දෙනවා

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‌ෂ ජනරාල්

මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා අප නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ අහිතකර පොලිතින් සදහා නීති සම්පාදනය කර ඇතත් තවමත් වැටලීම් ආරම්භ කර නොමැති බවයි. එහෙත් ජනවාරි පළමු වැනිදායින් පසු වැටලීම් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. ලන්ච් ෂීට්‌ ආනයනය කරන්නේ දෙසැම්බර් 31 දක්‌වා පමණක්‌ බවත් ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇත්නම් ඒ ගැන ක්‍රියාත්මක විය හැකි බවත් ඔහු සදහන් කළේ ය. පොලිතින් නිෂ්පාදකයන් සමග දිගට ම සංකථනයක යෙදෙන බව කී ඔහු ඔවුන් ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන බවත් සදහන් කළේ ය. අලුත් යන්ත්‍ර මිල දී ගැනීමට යන වියදමෙන් 50%ක්‌ වත් ආධාර ලෙස ලබා දීම සදහා තමා ද ඇතුළත් කමිටුවකින් නිර්දේශ සකසා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ බව ඔහු සදහන් කළේ ය. එසේ ම මේ ක්‍රියාවලියේ දී නව තාක්‌ෂණය සැපයීමට රජය යම් දායකත්වයක්‌ සපයන බවට ද ඔහු පොරොන්දු විය. බත් පැකට්‌ එකක මිල අධික ලෙස වැඩි කර ඇත්නම් එය අසාධාරණ බව කී ඔහු මේ තත්ත්වය දිගට ම නො පවතින බව පෙන්වා දුන්නේ ය. යහපත් පොලිතින් දවටන සුලබ වීම සමග ඒ මිල පහත බසින බව ඔහු ගේ විශ්වාසයයි. පොලිතින් සඳහා ආදේශක නිෂ්පාදනය කරන අයට අත දීමට රජය නිරතුරු ව සූදානම් බව ද ඔහු පැවසුවේ ය.

නීතිය කොහොම ද?

පොලිතින් තහනම සමග දඩ හා දඩුවම් ගැන කතාවක්‌ ද ඉදිරියට ආවේ ය. සමහරුන් කීවේ පොලිස්‌ නිලධාරීන් බස්‌වලට කඩාවැදී කෑම පාර්සල් පවා පරීක්‌ෂා කරන බවයි. එසේ ම කඩවලට පැමිණ අහිතකර පොලිතින් ඇත් දැයි පිරික්‌සන බවයි.

මේ තහනම ගැන සදහන් වූ මුල් දිනවල කාර්යාලවල සමහරු මෙතෙක්‌ ගෙන ආ පාර්සල් වෙනුවට කෑම පෙට්‌ටිවල කෑම ගෙනෙන්නට වූ හ. එහෙත් දිනකින් දෙකකින් ඒ පිරිස යළි පරණ 'නරක' පොලිතින්වල ම කෑම ගෙනෙන බව පෙනී ගියේ ය. මීට එක්‌ හේතුවක්‌ වූයේ කිසිදු නීතියක්‌ ක්‍රියාත්මක වන බව පෙනෙන්නට නොතිබීමයි. මේ ලේඛකයා පසුගිය සති කීපය පුරා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා විශ්ව විද්‍යාල කැන්ටින්වල සැරිසැරූ අතර එහි දී පෙනී ගියේ තවමත් පෙර පරිදි ම අහිතකර යෑයි කියෑවෙන පොලිතින් දවටන ආහාර ලබා දීම සදහා පාවිච්චි වන බවයි. කඩවල මේවා සිල්ලරට ම විකිණීමට ඇති බව ද පෙනී ගියේ ය. මේ විෂය පථයට අදාළ පොලිසියේ උසස්‌ නිලධාරි මහතකු ගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නකි.

"මේ පොලිතින්වලට අදාළ නීති ක්‍රියාදාමයට පොලිසිය සෘජුව ම සම්බන්ධ නැහැ. එය එන්නේ මධ්‍යම පරිසර අධිකාරිය හරහායි. ඔවුන් අපට දැන්වූ විට අප සම්බන්ධ වනවා. කොහොම වෙතත් පොලිතින් පාවිච්චිය පිළිබද ලිහිල් බවක්‌ ජනවාරි 01 දක්‌වා ලබා දී තිබෙනවා. පොලිසිය කිසි ම විටක මගීන් ගේ ආහාර පැකට්‌ පරීක්‌ෂා කර පොලිතින් වර්ග බලා නැහැ. තවම නිෂ්පාදකයන් හෝ කඩ හෝ වැටලීමට ගිහිනුත් නැහැ. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්‌ ආවොත් පොලිසිය උදව් කරනවා."

මේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ මධ්‍යම පරිසර අධිකාරිය තවමත් කඩ වැටලීමට හෝ පොලිසියේ සහාය ඉල්ලා නැති බවයි. කෙසේ වෙතත් යම් යම් ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ සහාය ඇතිව හෝ නැති ව පරිසර හිතකාමී දවටන/ඇසුරුම් නිපදවීමේ / බෙදාහැරීමේ නිරත ව සිටියි.

ඝන කඩදාසි මගින් විසදුමක්‌ දිය හැකියි

එවැනි එක්‌ ආයතනයක්‌ වන වේවැල්දූවේ පැක්‌සර්ව් සමාගමේ කර්මාන්තශාලා කළමනාකර චාමර සමරසිංහ මහතා සමග විදුසරට අදහස්‌ හුවමාරු කරගන්නට හැකි විය.

ඔහු අපව දැනුවත් කරමින් පවසා සිටියේ මේ තහනම ඉතා හොද ක්‍රියාදාමයක්‌ බවත් තම සමාගම එම නීතියට අනුගත නිශ්පාදන සකසන බවක්‌ ය. ඒ අනුව විවිධ ප්‍රමාණවල කාඩ්බෝඩ්/කඩදාසි ඇසුරුම් නිපදවීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය. මීට අමතරව ඔහු පෙන්වා දුන් වැදගත් දෙයක්‌ වූයේ බිෙදන බඩු/විදුලි බඩු ආවරණය සඳහා යොදාගන්නා අහිතකර රිජිෆොaම් තට්‌ටු වෙනුවට ඝන කඩදාසි යෙදිය හැකි බවත් තමන්ව ඒවා නිපදවීමට හැකි බවත් ය. අද වන විට අහිතකර රිජිෆොaම් පරිසරයට එක්‌ වන මූලික ක්‍රමයක්‌ වන්නේ විද්යුත් භාණ්‌ඩ/ රූපවාහිනි/පරිගණක යන්ත්‍රවල ඇසුරුම්වල අතරමැදට යොදන මැදි පිරවුම් ය. මේවා සියල්ල පිටරටින් ගෙන්වන අතර විශාල වියදමක්‌ ද යයි.

චාමරට අනුව මෙවැනි නව ඝන කඩදාසි ක්‍රමවේදයන් මගින් පරිසර හිතකාමී බවට අනුගත වනවාට අමතර ව විශාල විදේශ විනිමය ඉතිරියක්‌ ද කරගත හැකි ය. එසේ ම දැනටත් තම සමාගම විවිධ ආහාර ඇසුරුම් සදහා පොලිතින්වලට විකල්පයක්‌ ලෙස ඝන කඩදාසි භාවිත කරන බව ඔහු පැහැදිලි කළේ ය.

පොලිතින් තහනමට එරෙහි ව තර්ක එළවන වෙනත් අය කියා සිටියේ බේකරි නිෂ්පාදන හා විස්‌කෝතු ඇසිරීමට ඝන කඩදාසි යොදාගත්ත ද එය අසාර්ථක බවයි. එයට හේතුව ලෙස ඔහු දැක්‌වූයේ කඩදාසි දවටන තුළ ආහාර මුද්‍රd කළ නොහැකි නිසා විෂබීජවලින් නො සුරැකෙන බවයි. එහෙත් ඊට පිළිතුරු දෙමින් චාමර මහතා කීවේ වයිට්‌ පේපර් කඩදාසියට හොද ගම් වර්ගයක්‌ යොදා මුද්‍රd තැබිය හැකි ආහාර දැවටුම් (පොලිතින්වලට විකල්ප ලෙස) නිපදවීමට හැකි බවයි. එහෙත් මේ නිෂ්පාදන ඉදිරියට ගෙන යැමට රජය ව්‍යවසායකයන්ට උදව් කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

දැනට කීල්ස්‌ සමාගම වැනි සුපිරි වෙළෝදසල් තුළ සම්පූර්ණයෙන් ම දිරා යන පොලිතීන් දවටන රුපියල් 1.50ක්‌ වැනි මිලකට මිල දී ගත හැකි ය. කීල්ස්‌ සමාගමේ තිරසර සංවර්ධන අංශයේ සජිත් විඡේසේකර මහතා අප සමග කියා සිටියේ පරිසර හිතකාමී මලු (පන්, රෙදි හෝ කඩදාසිවලින් තැනූ) තම අලෙවි හල් වෙත රැගෙන එන පාරිභෝගිකයන්ට වට්‌ටම් දීමට ද කටයුතු යොදන බවයි. තම සමාගමේ ම නිෂ්පාදනවලට පමණක්‌ නො ව පරිභෝගිකයන් ගෙනෙන ඕනෑ ම පරිසර හිතකාමී මල්ලකට මේ වට්‌ටම හිමි වේ. මෙවැනි ආයතන පරිසරය

රැකුමට දරන උත්සාහයන් සදහා නිසි අගැයුමක්‌ හිමි විය යුතු අතර පොලිතීන් ප්‍රශ්නය මත බත් පැකැට්‌ටුවේ මිල ඉහළ යැම වැළැක්‌වීමට ද බලධාරීන් කටයුතු යෙදිය යුතු ය.

මනෝඡ් රත්නායක