logo3.gif (702 bytes)

HOME


සුළිසුළං සමය අත ළගයි
ආපදා අවම කිරීමට පියවර ගනිමු

ඉන්දියන්, පැසිපික්‌ සහ අත්ලාන්තික්‌ සාගරවල විටින් විට වැඩෙන සුළිසුළං ගැන මෙන්ම එම සුළංසුළංවලින් සිදු වන විවිධ ආපදාවන් පිළිබඳව පුවත් අපි අසා ඇත්තෙමු. මෑත ම අසන්නට ලැබුණේ හාවි (Harvey) නමින් හඳුන්වනු ලැබූ සුළිසුළගින් ඇමෙරිකාවේ ටෙක්‌සාස්‌ ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයයි.

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්‌ක මුහුදු ප්‍රදේශයේ වැඩි වශයෙන් සුළිසුළං වර්ධනය වන ඔක්‌තෝබර් - නොවැම්බර් අන්තර් මෝසම් සමය අත ළග ය. එසේ නම් සුළිසුළං ගැන මෙන්ම දිවයිනේ නොයෙක්‌ පළාත්වලට බලපෑ හැකි ගංවතුර ආපදා, අකුණු සහ ධාරානිපාත වැසි නිසා ඇති විය හැකි ජීවිත සහ දේපළ හානිය මෙන්ම විශේෂයෙන් ම නැෙගනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි වාසුළි උත්සර්ජන පිළිබඳ වත් අවබෝධයෙන් සිටිය යුතු කාලය එළැඹී ඇත. සාමූහික සහ සංවිධානාත්මක ලෙස අනතුරු නිවාරණ හෙවත් ආපදා කළමනාකරණ ක්‍රම දියත් කිරීමට මෙන්ම ස්‌වෝත්සාහයෙන් අනතුරු නිවාරණය කිරීමට එය මගපෙන්වීමක්‌ වනු නොඅනුමාන ය.

වරින් වර ශ්‍රී ලංකාවට සුළිසුළංවලින් සිදු වන හනි වසර ගණනාවක්‌ යන තෙක්‌ අමතක නො වන තරමට බරපතළ ය. 1978 නොවැම්බර් සුළිසුළග, 2000 දෙසැම්බර් සුළිසුළග, 2013 මැයි සුළිසුළග මීට ඉතා හොඳ නිදසුන් ය. ඒ අතර 2016 මැයි මාසයේ බෙංගාල බොක්‌කේ වර්ධනය වූ පීඩන අවපාතයේ බලපෑම නිසා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් සිදු වූ ආපදා ඔබ හැමට අමතක නැතැයි සිතමි.

පෘථිවි පද්ධතිය බිහි වූ දා සිට ම විවිධ ප්‍රමාණයේ සුළිසුළං වර්ධනය වූවා සේ ම එම සුළිසුළංවලින් පරිසරයට සිදු වුණු මහත් සේවාව ගැන අවබෝධයක්‌ නොමැති අය ඒවාට වෛර කරනු ද දක්‌නට ලැබේ.

සැකෙවින් පැවසුව හොත්, අප ලෝක ගෝලයේ සමකය ආසන්න ඝර්මකලාපීය කොටසට ලැබෙන අසීමිත සූර්ය තාප ශක්‌තිය ලොව පුරා බෙදා හරින ප්‍රධාන යන්ත්‍රය සුළිසුළං ය. ඉන්දියන්, පැසිපික්‌ සහ අත්ලාන්තික්‌ සාගරවල විටින් විට වැඩෙන සුළිසුළං මේ ඉමහත් සේවය කරන නිසා මිහි මත වෙසෙන සත්ත්ව සහ ශාකවල ජීවිතවලට අවශ්‍ය සාධක නිසි පරිදි ලැබේ. කෙසේ වෙතත් කරුණු රැසක්‌ නිසා අද වන විට සුළිසුළං අපට අහිතකර, ආපදාකාරී සංසිද්ධියක්‌ වී ඇත. එබැවින් සුළිසුළගක යහපත් ලක්‌ෂණවලට වඩා ඉන් සිදු විය හැකි ස්‌වාභාවික විපත් විමසා බැලීම කාලෝචිත වනු ඇත.

සුළිසුළගක්‌ සිය ජීවිතය ආරම්භ කරන්නේ අවපීඩන ප්‍රදේශයක්‌ ලෙසින් ය. එසේ ආරම්භ වන පද්ධතියකට තවතවත් ශක්‌තිය ලැබුණ හොත් පීඩන අවපාතයක්‌ ලෙසට ද, ඊළගට සුළිසුළගක්‌ බවට ද වැඩේ. සුළිසුළගක්‌ වර්ධනය වීම ලෝක ගෝලයේ සාගර කිහිපයකට පමණක්‌ සීමා වීමට හේතුව වන්නේ එවැන්නක්‌ ආරම්භ වීම සඳහා පරිපූර්ණ විය යුතු අවශ්‍යතා කිහිපයක්‌ තිබෙන නිසා ය.

උත්තර අර්ධ ගෝලයේ වැඩෙන සුළිසුළගක්‌ එය පිහිටි ස්‌ථානයේ සිට බටහිර හෝ වයඹ දෙසට ගමන් කරයි. මේ නිසා බෙංගාල බොක්‌කේ ආරම්භ වන අවපීඩන ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක්‌ සහ උනන්දුවක්‌ ඉන්දීය සහ අපේ කාලගුණ විද්‍යාඥයන් විසින් දක්‌වනු ලැබේ. අප දිවයින පිහිටි ඉන්දියන් සාගරය සුළිසුළං ඇති වීම අතින් වැදගත්කමක්‌ ඉසිලුව ද ඒවායේ ගමන් මෙගහි ඇති ඉහත සඳහන් ලක්‌ෂණය නිසා බෙංගාල බොක්‌කේ වර්ධනය වන සුළිසුළංවලින් අප දිවයිනට සෘජු හෝ වක්‍ර හෝ ලෙස ඇති වන බලපෑම් සැලකිය යුතු තරම් ය. හොඳින් වැඩුණු සුළිසුළගක්‌ ප්‍රමාණයෙන් කි. මී. 1000ක පමණ විෂ්කම්භයකින් යතු විය හැකි වුව ද එවැන්නක බලපෑම ඊට වටා වැඩි දුර ප්‍රමාණ දක්‌වා විහිදී යයි. වලාකුළින් පිරි අහසක්‌ සහිත ව නිරතුරුව පවතින දැඩි සුළං සහ අකුණු සහිත වැසි, සුළිසුළගක්‌ නිසා අපට මුහුණ පාන්නට වන කාලගුණ තත්ත්වයයි. සුළිසුළගක්‌ වටා හමන සුළං ප්‍රවාහ පැයට කිලෝ මීටර 150 තරම් වේගවත් විය හැකි ය.

සුළිසුළගක බලපෑම යටතේ සුළිසුළගින්, වර්ෂාවෙන් සහ අකුණු පහරෙන් සිදු වන උපද්‍රවවලට අමතරව වාසුළි උත්සර්ජන (Storm Surge) මගින්, විශේෂයෙන් ම මුහුදුබඩ ප්‍රදේශවල සිදු වන දේපළ හානිය මහත් ය. බොහෝ විට වාසුළි උත්සර්ජන හෙවත් "මුහුදු ගොඩ ගැලීම" මගින් මිනිස්‌ සහ සත්ත්ව ජීවිතවලට ද විශාල ලෙස තර්ජන එල්ල වේ. සිය අක්‌ෂය වටා කරකැවෙමින් තැනින් තැනට ගමන් කරන බඹරයකට සමාන අයුරන් හැසිරෙන සුළිසුළං පද්ධතියක බලපෑමට හසු වන ජලාශයේ රැලි (හෝ තරංග) සුළිසුළං තීව්‍රතාව වැඩි වීමත් සමග ම ප්‍රමාණයෙන් සහ විශාලත්වයෙන් වැඩි වේ. අප දිවයිනට සැතපුම් 400ක්‌ තරම් දුරකින් එවැන්නක්‌ ක්‍රියා කරන විට දී පවා මුහුදු යැම අනතුරුදායක බවට ධීවරයන්ට නිවේදන නිකුත් කරනු ලබන්නේ මේ නිසා ය.

සුළිසුළගක මධ්‍ය ස්‌ථානය වන 'ඇසේ' සිට සැතපුම් දහස්‌ ගණනක්‌ ඈතට යන තුරු ම හමන සුළගේ වෙගය ඉතා දැඩි ය. එම සුළග ගහ කොළ සහ ගොඩනැගිලිවලට විශාල තර්ජනයක්‌ වනවා මෙන්ම මුහුදේ මතුපිට ජල ස්‌ථර මත විශාල බලපෑමක්‌ ඇති කරයි. එවන් බලපෑමක්‌ ඇති බොහෝ අවස්‌ථාවල මීටර් 5-6ක්‌ පමණ උස්‌ වූ මුහුදු රැලි (වාසුළි උත්සර්ජන) ඇති වේ. එවන් උස රළ පහරක්‌ වෙරළේ පිහිටි උස මීටර 7ට වඩා අඩු වූ ගොඩනැගිලිවලට ඉහළින් හමා යන බව පැහැදිලි ය. තව ද, එවැන්නක බලපෑම ගොඩබිම විශාල ප්‍රදේශයක්‌ ජලයෙන් යට කිරීමට තුඩු දේ.

සුළිසුළංවල සෘජු බලපෑම්වලට වැඩි වශයෙන් ම මුහුණ දීමට සිදු වන්නේ ශ්‍රී ලංකාවේ නැෙගනහිර වෙරළබඩ පළාත්වල ජීවත් වන ජනතාවට ය. මීට හේතුව, බෙංගාල බොක්‌කේ වර්ධනය වන සුළිසුළං අප දිවයිනට තර්ජනයක්‌ වන අතර දැඩි සුළං සහ වාසුළි උත්සර්ජනවල අහිතකර බලපෑම් සෘජු ව ම එල්ල වන්නේ නැෙගනහිර වෙරළබඩ කොටස්‌වලට වීම ය. එසේ වුවත් අනෙකුත් වෙරළබඩ කොටස්‌වලට එවන් බලපෑම් නැතුවා ම නො වේ. සුළිසුළං ඉතා චණ්‌ඩ වන අවස්‌ථාවල දී මුහුදු රළෙහි උද්දීපනයේ සහ සුළිසුළංවල චණ්‌ඩත්වයේ විපාක දිවයින වටා ඕනෑ ම වෙරළබඩ ප්‍රදේශයකට බලපායි.

දිවයිනේ පහත්බිම්වල ගංවතුර ආපදා ද, කඳුකර පළාත්වල නාය යැම්, පස්‌කඳු කඩාහැළීම්, ගස්‌ කඩා වැටීම යනාදියෙන් සිදු වන ආපදා ද සුළිසුළං සමයේ සිදු වීම ස්‌වාභාවික ය. එහෙයින් සුළිසුළං පිළිබඳ හෝඩුවා ලද විට එවන් අනතුරු වළක්‌වාගත හැකි නිසි ආරක්‌ෂක පියවර දියත් කිරීමට අදාළ ආයතන මෙන්ම අප සැවොම උනන්දු විය යුතු ය.

සුළිසුළං අනාවැකි ජනතාව වෙත ළගා වන අතරේ දී ජනමාධ්‍ය බොහොමයක්‌ මගින් සිදු වන වරදක්‌ ගැන ද අවබෝධය ලබාගත යුතු ය. සුළිසුළගක සුළං පැයට කිලෝ මීටර 150ක්‌ 200ක්‌ තරම් වේගවත් වුව ද පද්ධතිය තිරස්‌ දිශාවට ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 5ක 10ක පමණ වේගයකින් ය. සමහර ජනමාධ්‍ය පුවත් ප්‍රකාශනවල සුළිසුළගක්‌ දිවයින වෙත ළගා වන වේගය ලෙස සුළංවල වේගය වරදවා සඳහන් කරන බව අවබෝධ කරගනිමු.

කේ. ආර්. අභයසිංහ