logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කසළ ප්‍රශ්නයේ තවත් පැතිකඩ

මෑතක සිට අපට කැළි කසළ සම්බන්ධ උද්ඝෝෂණ බහුලව දක්‌නට ලැබේ. සමහර තැනක ඇත්තේ "අපේ කුණු ගෙනියපියව්" වැනි ආකාරයේ සටන් පාඨ රැගත් උද්ඝෝෂණ වේ. අනෙක්‌ තැන්වල ඇති දැන්වීම් පුවරුවල ඇත්තේ "තොපේ කුණු අපට එපා" වැනි වැකි ය. රජය අධිකරණ නියෝග මගින් කසළ බැහැර කරන්නට අවසරය ලබාගත් ස්‌ථානවලට පවා කසළ රැගත් වාහනවලට ඇතුළු වන්නට ඉඩ නො දී එම ප්‍රදේශවාසීන් මං අවුරන ආකාරය රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දැකගත හැකි වේ. එසේ ම සමහර අතුරු මාවත්වල ඇවිද යන අපට බහුලව දැකගත හැකි වන්නේ "මෙතන කුණු දමන උන් ගේ අතපය කැඩියං" වැනි ශාප වැකි රැගත් දැන්වීම් ය.

කැළි කසළ ප්‍රශ්නය අද වන විට පවතින්නේ එවැනි උග්‍ර තත්ත්වයක ය.

ඇතැම් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මෙටි්‍රක්‌ ටොන් මිලියනයක පමණ කැළි කසළ ප්‍රමාණයක්‌ නිපැදවේ. මේ වාර්තා ස්‌ථිතික ඒවා නො වන අතර ඇතැම් වාර්තාවලට අනුව එම කසළ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් මිලියන එක හමාරකට ආසන්න ය. පරිසර යුක්‌ති කේන්ද්‍රයේ අධ්‍යක්‌ෂ හේමන්ත විතානගේට අනුව මෙරට නිපදවෙන කුණුවලින් සියයට හතළිහක්‌ පමණ කොළඹ, දෙහිවල ගල්කිස්‌ස, ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවලින් බැහැර කරන ඒවා වේ. මීතොටමුල්ල කුණු කන්ද අයත් වූ ග්‍රාම නිලධාරී වසම ඇතුළත් වන කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සැලකූ කල එහි නිවැසියන් ගෙන් සියයට අසූ දෙකක්‌ ම කුණු ඉවත් කිරීම කෙරෙන බලාපොරොත්තු රඳවා ඇත්තේ ප්‍රාදේශීය සභාව කෙරෙහි ය.

මුළු රට ම සැලකුව හොත් නිවාස හිමියන aගෙන් ප්‍රාදේශීය සභා වෙත සිය කුණු භාර දෙන්නේ සියයට විස්‌සක්‌ තරම් වූ සුළු ප්‍රතිශතයක්‌ පමණි. සියයට හතළිස්‌ හතක්‌ ම තම ගෙවත්ත තුළ කුණු පුළුස්‌සති. සියයට අටක්‌ පමණ පිරිසක්‌ කුණුවලින් කොම්පෝස්‌ට්‌ හදන්නට යොමු වන අතර ඉතිරි පිරිස කුණු වෙනත් තැන්වලට දමති. ප්‍රාදේශීය සභා මත කුණු සම්බන්ධයෙන් වැඩිපුර ම රදා පවත්නා දිස්‌ත්‍රික්‌කය වන්නේ කොළඹ ය. එහි නිවාස හිමියන් ගේ කුණුවලින් 68% - 70%ක්‌ පමණ ප්‍රාදේශීය සභා විසින් ඉවත් කරනු ලැබේ. ලංකාවේ ප්‍රාදේශීය මත කුණුවලට අදාළව අඩුවෙන් ම රදා පවතින දිස්‌ත්‍රික්‌කය කිලිනොච්චියයි. ප්‍රතිශතයක්‌ ලෙස එය සියයට දශම නවයකි.

කොළඹ නගරයෙන් පමණක්‌ දිනකට කුණු මෙ. ටොන් 800ක්‌ පමණ බැහැර කෙරේ. බස්‌නාහිර පළාත ම සැලකූ කල එම ප්‍රමාණය ටොන් දෙ දහසක්‌ පමණ වේ. ලෝකු බැංකු වාර්තාවන්ට අනුව ලංකාවේ ඒක පුද්ගල කසළ උත්පාදනය දිනකට කිලෝග්රෑම් 5ග1 නට වේ. ඇමෙරිකාවේ ඒක පුද්ගල කසළ උත්පාදනය දිනකට කිලෝග්රෑමයක්‌ පමණ වේ. එයින් පෙනී යන්නේ ඔවුන් ගේ කුණු උත්පාදනය අපට සාපේක්‌ෂව ඉතා ම අඩු බවයි.

දැනට මුළු ලෝකය ම සැලකුව හොත් ගෝලීය නගර සභා (ප්‍රාදේශීය සභාත් සලකමින්) ඝන අපද්‍රව්‍ය එකතුව (MSW) වසරකට ටොන් බිලියන 1.3ක්‌ වේ. දැනට ලෝකය ම සලකන කළ ඒක පුද්ගල කසළ උත්පාදනය දිනකට කිලෝග්රෑම් 1ග2ක්‌ වේ. එමගින් පෙනෙන්නේ ද අප ලෝක තත්ත්වයට සාපේක්‌ෂව වැඩියෙන් කුණු උත්පාදනය කරන බව ය.

ඒක පුද්ගල දෛනික කසළ උත්පාදනය වැඩි ම රටවල් කීපය පහත දැක්‌වේ.

ටි්‍රනිඩ්‍රෑඩ් හා ටොබැගෝ 14 kg

ඇන්ටිගුවා හා බාබයුඩා 5.5 kg

ශාන්ත කිට්‌ස්‌ හා නෙවිසස්‌ 5.4 kg

ශ්‍රී ලංකාව 5.1 kg

බාබඩෝස්‌ 4.7 kg

(What a Waste World Bank වාර්තාව)

මේ අනුව අන් බොහෝ ජාත්‍යන්තර නිර්ණායකවලට අදාළව (ඒක පුද්ගල ආදායම වැනි) ඉතා පහළ මටටම්වල රැඳෙන ශ්‍රී ලංකාවට කසළවලින් නම් ලෝකයෙන් ම හතරවැනි තැන දිනාගන්නට හැකි ව තිබේ. එය කිසිසේත් ම සතුටට කරුණක්‌ නො වන අතර එය මගින් පෙන්වා දෙන වැදගත් කරුණ අප ඉක්‌මනින් වෙනස්‌ නො වන්නේ නම් ප්‍රපාතයකට ඇදවැටෙන්නට ඉඩ ඇති බව ය. මේ අනතුරු ඇගවීම් නො තකා දිගට ම ප්‍රපාතය වෙතට යොමු වනවා දැයි ජාතියක්‌ ලෙස අප කල්පනා කළ යුතු ව ඇත.

රජය කුණු ප්‍රශ්නය විසඳීමට පසුගිය සමයේ ගත් සාධනීය පියවරක්‌ වන පොලිතින් සීමා කිරීමේ පියවර ගැන අපේ ප්‍රසාදය හිමි විය යුතු වුවත් එය ප්‍රමාණවත් නො වේ. මන්ද යත් සැප්තැම්බර් 01 සිට තහනම ක්‍රියාත්මක වුවත් දඩුවම් පැමිණවීම සිදු වන්නේ ලබන වසරේ සිට ය. එහෙයින් මේ වසර තුළ දී හෝ පොලිතීන් කුණු ලෙස පරිසරයට එක්‌ වීම සුවිශාල ලෙස අඩු වේ යෑයි සිතීම දුෂ්කර ය. දිගු කාලීන විසඳුමක්‌ ලෙස පොලිතීන් තහනම සුදුසු වුව ද කුණු ප්‍රශ්නයට වෙනත් විකල්ප ද අවශ්‍ය වේ.

රජය ගෙන ඇති තව පියවරක්‌ වන්නේ කුණු බැහැරට දමන අය අල්ලා දඩුවම් පැමිණවීමයි. මෙය කුණු නිපදවන්නවුන්ට ම කුණු ඉවත් කරගැනීමේ වගකීම ඇතැයි යන මතවාදයට අනුව නිවැරැදි ක්‍රමයක්‌ විය හැකි මුත් එය සදාචාර සම්පන්න හා ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතු ය. ජනතාව මහමගට හෝ වෙන අය ගේ වතුවලට හෝ කුණු දමන්නේ ඇයි දැයි යන්න ගැන පළමුව විමසා බැලිය යුතු ය. ජනයාට තමන් ගේ කසළ බැහැර කරන්නට ස්‌ථාන සපයා දෙන්නේ නම් අනවශ්‍ය තැන්වලට කුණු දැමීම සිදු කෙරෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා හා නගර සභා මගින් ට්‍රැක්‌ටර් යවා නිවැසියන් ගේ අපද්‍රව්‍ය ලබාගන්නා ක්‍රමයක්‌ සකසා ඇති මුත් ඒ ක්‍රමවේදය තුළ පැනනැගී ඇති ගැටලු රාශියකි. මූලිකව ම, මේ කුණු එක්‌ කිරීම් අවධිමත් ය. කුණු එකතු කරන්නට ට්‍රැක්‌ටර් ගමන් ගන්නේ මොන පාරවල දැයි යන්න දන්නා කෙනකු නැත. මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන්ට අනුව හා පළාත් සභා අමාත්‍යංශයේ බලධාරීන්ට අනුව මේ කුණු ප්‍රාදේශීය සභාවට ලබා දීමේ අයිතිය හැම ගෙදරකට ම ඇත. එහෙත් ප්‍රාදේශීය සභා ට්‍රැක්‌ටරය එළවන රියදුරා හා එහි කුණු අදින/එකතු කරන සේවකයන් කියන්නේ මීට වඩා වෙනස්‌ කතාවකි. ඔවුන් බොහෝ විට දෙන උත්තරය වන්නේ "අපි යන්නේ අපට ඉහළින් ඕඩර් ලැබෙන පාරවල්වල පමණයි" යන්න ය. එසේ ම වරිපනම් ගෙවන ගෙවල්වලින් පමණක්‌ කුණු එකතු කළ යුතු බව ද සමහරු පවසති. එහෙත් මේ ප්‍රකාශ වගකීම් විරහිත මුග්ධ ප්‍රකාශ වේ. වරිපනම් ගෙවනවා ද නො ගෙවනවා ද නො තකා තම කුණු බැහැර ලීමේ අයිතිය පුරවැසියකු සතු වේ. අවාසනාව ඒ අයිතිය හුදෙක්‌ ලේඛනවලට පමණක්‌ සීමා වීමත් පුරවැසියා ඒ ගැන නො දැන සිටීමත් ය. අනෙක මේ අයිතිය පිළිබඳව දැනගෙන තර්ක කරන්නට යැම ද සමහර අවස්‌ථාවල දී හොඳ ප්‍රතිඵලවලට වඩා නරක ප්‍රතිඵල අත් කර දෙයි. කුණු ට්‍රැක්‌ටරය පදවන අයට පමණක්‌ නො ව ප්‍රාදේශීය සභා කීපයක ම බලධාරීන්ට මේ ලේඛකයා පෞද්ගලිකව කතා කර ඇති අතර ඔවුන් ගෙන් කිසිවකුත් ලංකාවේ සැම පුරවැසියකු ගේ ම කුණු ඉවත් කිරීමේ වගකීම රජය සතු යෑයි පිළිගන්නට කැමැති නැත.

ඒ වෙනුවට ඔවුන් දැක්‌වූ ප්‍රතිචාරය වූයේ මා මහත් කරදරකාරයෙකු බව ඇගවීමයි. මිනිසුන් ගේ කුණු බැහැර කරලීමේ අයිතියට ගරු නො කරන එහෙත් ඒ කුණු අයථා ලෙස බැහැර කළ විට ක්‌ෂණිකව දඩුවම් දෙන සමාජ ක්‍රමය සාධාරණ යෑයි සිතිය හැකි ද? මෑතක දී අප ගේ සහෝදර පුවත්පතක ම සේවය කළ අයකු නගරයේ වූ කුණුගොඩකට කුණු දමන විට ඔහුව අල්ලාගෙන දඩුවම් ලබා දෙන ලදී. ඔහු පවසන පරිදි මේ කුණු ගොඩ දිගු කලක්‌ තිස්‌සේ ඒ ප්‍රදේශයේ කුණු දැමූ ස්‌ථානයයි. සමහර විට පසුව මේ ස්‌ථානයේ කුණු දැමීම ප්‍රාදේශීය බලධාරීන් තහනම් කරන්නට ඇත. ඔහු සමහර විට ඒ තහනම ගැන නො දැන මේ වරද කරන්නට ඇත. එහෙත් නුවරකුට පැමිණ කුණු දමන්නට පොදු ස්‌ථානයක්‌ නගරයක තිබිය යුතු නො වේ ද? නගරයක හෝ ගමක හෝ මෙවැනි නිශ්චිත පොදු ස්‌ථානයක්‌ කුණු දමන්නට පවතිනවා නම් මිනිසුන් තැන්තැන්වලට කුණු දමා පැන දිවීම නතර කරගත හැකි නො වේ ද?

කෙසේ වෙතත් මේ මතයට වෙනස්‌ මත ද සමාජයේ පවතී. එය නම් මෙය රජයට අදාළ පරිපාලනමය ගැටලුවක්‌ නො ව පුද්ගල චර්යාව පිළිබඳ ගැටලුවක්‌ බවයි. නිදසුනක්‌ දැක්‌වුව හොත් මහර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වන වෛද්‍ය කුමාරි ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ මේ කුණු ගැටලුවලට විසඳුම් ලබාගත හැකි වන්නේ ආකල්පමය වෙනසක්‌ ඔස්‌සේ පමණක්‌ බවයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක්‌ තුළ සියලු ම සෞඛ්‍ය කටයුතු පිළිබඳ තීරණ ගැනීම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම් සිදු වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා ය. නිදසුනක්‌ දැක්‌වුව හොත් ඩෙංගු මර්දනයට සම්බන්ධ ප්‍රාදේශීය මට්‌ටමේ සියලු ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ය.

ඩෙංගු මර්දන ඒකකයේ තොරතුරුවලට අනුව තවමත් ඩෙංගු කීටයන් වර්ධනය වීමට කැළිකසළ 39%ක බලපෑමක්‌ කරයි. එහෙයින් කුණු ගැටලුව හා ඩෙංගු ගැටලුව අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවකි.

වෛද්‍ය කුමාරි ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ අතීතයේ දී කුණු දැමීමට ස්‌ථාන හඳුන්වා දී තිබුණ ද මිනිසුන් ඒවා අවභාවිත කොට ඇති බවයි.

"කසළ දමන්න තැනක්‌ හඳුන්වා දුන් විට මිනිසුන් කරන්නේ ඒ වර්ග කොට ඇති බඳුන්වලට කසළ වෙන් කොට දැමීම නො ව තම පහසුව සඳහා මොකක්‌ හෝ බඳුනකට දමා යැමයි. සමහර විට මෝටර් රථයේ ම සිට කුණු ටික බඳුනකට විසි කරනවා. එහි දී සිදු වන්නේ කුණු පිටතට වැටීමයි. ඉන්පසු මේ කුණු බල්ලන් හෝ වෙනත් සතුන් ඇදගෙන යනවා. මගේ දැක්‌ම නම් ජනතාව ගේ ආකල්ප වෙනස්‌ විය යුතුයි. ඔවුන් රට හා පරිසරය ගැන ආදරයෙන් සිතිය යුතුයි. තමන් ගේ කසළ තමන් කළමනාකරණය කරගන්නවා නම් වඩාත් හොඳයි. කසළ දැමීම හා වෙනත් පරිසරය සෞඛ්‍ය සම්බන්ධ ආචාරධර්ම, හොඳ පුරුදු පාසල් අවධියේ සිට උගන්වන්න ඕනේ කියන හැගීම අපේ තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සංවර්ධන නිලධාරී තනතුරු දරන උපාධිධාරීන් පිරිසක්‌ හරහා යම් මට්‌ටමකට ඒ දේ කරනවා. මේ උපාධිධාරීන් කසළ කළමනාකරණය ගැන පාසල් දරුවන් දැනුවත් කරනවා. මාසිකව එම නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා ඉදිරිපත් කරනවා. මගේ අදහස අනුව නම් ගැටලුව වර්ධනය වෙලා තියෙන්නෙ මිනිසුන් කසළ වර්ග නො කොට (බෙදන්නේ නැති ව) බැහැර කිරීමෙන්. එමගින් කුණු එකතු කරන අයත් අපහසුතාවට පත් වනවා. මේ වගේ දේවල් ගැන ළමා අවධියේ සිට දැනුවත්ව ක්‍රියා කරනවා නම් අනාගතයේ දී මේ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙයි. රජය පැත්තෙන් අපි කළ හැකි හැම දෙයක්‌ ම ජනතාව වෙනුවෙන් කරනවා."

සැබැවින් ම රජය කුණු ප්‍රශ්නය විසඳන්නට පියවර ගෙන නැතැයි යන හැගීම ජනතාව තුළ පැවැතිය ද රජය පාර්ශ්වයෙන් ද යම් සාධනීය පියවර ගෙන ඇති බව පෙනී යයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්‌ටමෙන් සිදු කෙරෙන වැඩසටහන්වලට අමතරව මධ්‍යම රජය ද ඵලදායි ව්‍යාපෘති දියත් කොට තිබේ. මේ වැඩසටහන්වලට නායකත්වය දෙන්නේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහයෝගිතා මධ්‍යස්‌ථානයයි. (NSWMSC). එහි අධ්‍යක්‌ෂ ඉංජිනේරු ඒ. බී. ඉලංගසිංහ මහතා පවසන්නේ ඉතා ඉක්‌මනිනන් කුණු ප්‍රශ්නයට ඵලදායී විසඳුමක්‌ ගෙනෙන්නට රජය කටයුතු යොදන බවයි.

මෙරටට දැනට ගෙන්වා ඇති Kawashima කොම්පෝස්‌ට්‌ යන්ත්‍රය ඊට නිදසුනකි. දැනට කුණ්‌ඩසාලේ කුණු කොම්පෝස්‌ට්‌ බවට පත් කිරීම සඳහා එම යන්ත්‍රයක්‌ යොදා ඇති අතර මේ ආකාරයේ යන්ත්‍ර 8ක්‌ ඉදිරි කාලය තුළ මෙරටට ගෙන එන බව ඉලංගසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් මේ ලේඛකයා හා සාකච්ඡාවක නියෑළුණ නම හෙළි කිරීමට අකමැති වූ සමාජවිද්‍යා පර්යේෂකයකු සඳහන් කළේ Kawashima යන්ත්‍රය දැනට ලංකාවේ පවතින යල්පැන ගිය ක්‍රම හා සසඳන කල තරමක හොඳ එකක්‌ වුව ද විශිෂ්ටතම ක්‍රමවේදය නො වන බවයි.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය එම්. ජී. කුලරත්න මහතා ඇතුළු විද්වතුන් පිරිසක්‌ ජපාන ERS ක්‍රමය ලංකාවට හඳුන්වා දීමට සුවිශාල ප්‍රයත්නයක නිරත ව සිටින මුත් රජයෙන් තවමත් එතරම් සාධනීය ප්‍රතිචාර ලැබී නැත. ERS යනු ජෛව තාක්‌ෂණික ක්‍රමවේදයකි. ක්‌ෂුද්‍රජීවීන් යොදාගනිමින් ඉතා වේගවත් ව කසළ කොම්පෝස්‌ට්‌ බවට පත් කිරීමට හැකි වීම මේ ක්‍රමයේ විශේෂත්වයයි. වෙනත් හැම ක්‍රමයක දී ම අඩු ම වශයෙන් සති ගණනක්‌ කොම්පෝස්‌ට්‌ සෑදීමට ගත කළ යුතු වුවත් මේ ක්‍රමයෙන් පැය 24ක්‌ තුළ ඒ කාර්යය ඉටු වන බව ආචාර්ය කුලරත්න පෙන්වා දෙයි.

එහෙයින් රජයේ අවධානය අපේ පර්යේෂකයන් ඉදිරිපත් කරන පලදායි යෝජනා වෙත ද යොමු වීම වැදගත් බව සටහන් කර තැබීම වටියි.

මනෝඡ් රත්නායක