logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බලශක්‌ති පද්ධති නිර්මාණකරණය

මේ වන විට ඔබ භාවිත කරන උපකරණ පිළිබදව අදහසක්‌ ඔබ සතු ව ඇත. මීළග පියවර වනුයේ පද්ධතියේ සම්පූර්ණ නිර්මාණය සටහනකට ගැනීමයි. කුඩා ම පද්ධතියක්‌ සදහා වුව ද කටු සටහනක්‌ තිබීම පහත ආකාරයේ වාසි ඇති කරයි.

කිසි දෙයක්‌ මග නො හැරුණු බවට එය සහතිකයකි.

කේබල්වල ප්‍රමාණයන් තීරණය කිරීමට එය උදව් දෙයි.

ඉදිරියේ දී සිදු කරන සවි කිරීම් කාර්යන්හි දී කිසිවක්‌ අමතක නො වුණු බවට වග බලාගනී. (මෙය බොහෝ දෙනා සම්බන්ධ පද්ධති සදහා විශේෂ වැදගත්කමක්‌ දරයි).

පද්ධතියේ අනාගත නඩත්තු කටයුතුවල දී මෙවැන්නක්‌ තිබීම පහසුවකි.

පද්ධතියෙන් පද්ධතියට රැහැන් සටහන (Wiring diagram) වෙනස්‌ වේ. වෙනස්‌ උපාංග තිබීම එයට මූලික ම හේතුවයි. සූර්ය පැනල ඉන්වර්ටරය ආදි සියලු උපකරණයන් සදහා නිෂ්පාදකයා ලබා දුන් තොරතුරු කියවා මේ රැහැන්ගත කිරීම් නිවැරැදිව කළ යුතු ය.

සූර්ය ඇරියක්‌ ස්‌ථාපනය කිරීමේ දී සැලකිය යුතු මූලික කරුණු ලෙස

පද්ධතියට අවශ්‍ය ඉඩ ප්‍රමාණය මා සතුව පවතීද.

සූර්ය ඇරිය තෝරාගැනීමත් සමඟ ඒ හා සබැඳි අනෙකුත් උපකරණ මිල දී ගැනීමට පවතී.

සූර්ය ඇරිය එකලස්‌ කිරීමේ දී අවශ්‍ය කේබල් ප්‍රමාණය

පද්ධති වෝල්ටීයතාව

සාරාංශයක්‌ ලෙස දැක්‌වීමට පුළුවන.

සූර්ය ඇරියක්‌ ස්‌ථාපනය කිරීමේ දී P = VI හා P = I2R සමීකරණ භාවිත වේ.

ඔබ ගේ ප්‍රශස්‌ථ වෝල්ටීයතාව තීරණය වන්නේ සූර්ය ඇරිය මඟින් ජනනය වන විදුලි ධාරාව හා යම් වේලාවක භාරයන් (උපකරණ) මඟින් භාවිත කරන විදුලි ප්‍රමාණය මත ය.

අඩු වෝල්ටීය පද්ධතිවලින් ගලන වැඩි ධාරාව නිසා කේබල් තුළින් සැලකිය යුතු ශක්‌ති හානියක්‌ සිදු වේ. එලෙස කේබලය තුළින් සිදු වන ශක්‌ති හානිය ධාරාවේ වර්ගයට සමානුපාතික වේ. ඔබ ගේ කේබල්වල දිග වැඩි වත් ම පද්ධතියේ කාර්යක්‍ෂමතාව පහළ බසී. එවිට වඩාත් වැඩියෙන් ශක්‌තිය නිපදවීමට සිදු වේ. එබැවින් හැකිතාක්‌ කෙටි කේබල් භාවිතයට ගත යුතු ය. අධික ම ධාරාවක්‌ යන කේබලය හැකිතාක්‌ කෙටි ව නිර්මාණය කළ යුතු ය.

අධික ධාරාවන්ට ඔරොත්තු දීමට නම් වැඩි මහතින් යුතු කේබල් භාවිත කළ යුතු ය. එහෙත් එය මිලෙන් වැඩි හා සැම විට ම වාගේ ප්‍රායෝගික ක්‍රියාවක්‌ නො වේ. ඉහත කී ගැටලු අවම කරගැනීම සඳහා පද්ධති වෝල්ටීයතාව වැඩි කිරීම සුදුසු ය. වෝල්ටීයතාව දෙගුණ කළ හොත් ධාරාව අඩකින් අඩු කළ හැකි ය.

රැහැන් සටහන් ඇඳීමේ දී ආරක්‌ෂාව කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. ආරක්‌ෂාව රැහැන් සටහන් ඇඳීමේ දී පමණක්‌ නො ව පද්ධති සවි කිරීමේ දී ද මූලිකත්වයේ සැලකිය යුතු කාරණයකි.

ආරක්‌ෂාව තහවුරු කිරීම

නිර්මාණයේ සැම පියවරක්‌ පාසා ම ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ යම් දෙයක්‌ කිරීමෙන් සිදු වන උපරිම හානිය කුමක්‌ ද යන්නයි. සූර්ය පද්ධති නිර්මාණයේ දී ඇති විය හැකි අවදානම් ඇතත් ඒවා පිළිබද අවබෝධය ඇති අයකුට ඒවායෙන් මිදීමට හැකි ය.

හානි සිදු විය හැකි විධි මොනවා ද?

සූර්ය ඇරියෙන් ලැබෙන DC විද්යුත් ධාරාවෙන්

ඉන්වර්ටරයෙන් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාවෙන්

සූර්ය පැනලයේ අධික උෂ්ණත්වයෙන්

වහලයක සූර්ය පැනල සවි කරන්නේ නම් බිම වැටීමේ අවදානමෙන්

මෙවැනි ගැටලු නිසා සිදු වන හානි පිළිබද අවබෝධයෙන් සිට ඒ සදහා ගත හැකි විකල්ප දෙසත් අවධානය යොමු කරන්න.

ජාලගත සම්බන්ධතාවන්හි දී සූර්ය පැනල බොහොමයක්‌ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම තුළින් වඩා ඉහළ වෝල්ටීයතාවක්‌ සහිත පරිපථයක්‌ නිර්මාණය කිරීම ප්‍රචලිත ක්‍රමයයි. මෙසේ කිරීමේ දී තාක්‌ෂණිකමය වශයෙන් යම් යම් ඵලදායී තත්ත්ව තිබුණත් විදුලි සර වැදීමේ අවදානම පවතී. එබැවින් පද්ධති සවි කිරීමේ දී හා නඩත්තු කිරීමේ දී මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ යුතු ය.

සරල ධාරා විද්යුතයේ ඇති ප්‍රධාන අවදානම ලෙස ඔබව හෝ අන් අයකු වෙත හෝ විදුලි සර වැදීමත්, පරිපථ ලුහුවත් වීම් සිදු වී ගිනි ගැනීම් ඇති වීමත් දැක්‌විය හැකි ය.

සූර්ය පැනල නො නවත්වා විදුලිය නිපදවන අතර රාත්‍රී කාලයේ දී ඉතා කුඩා ධාරාවක්‌ නිකුත් කරන නිසා පද්ධතිය විසන්ධි කිරීමක්‌ සිදු කළ නොහැකි ය. එබැවින් පරිපථ විසන්ධිකාරක (DC Circuit Breakers හෙවත් Isolation Switches) යොදාගනිමින් පරිපථයේ ඉතිරි කොටසින් සූර්ය පැනල විසන්ධි කිරීමටත් හැකියාව තිබිය යුතු ය. තව ද ඉතා හොද භූගත කිරීමේ පද්ධතියක්‌ (ground fault protection system) තිබීමෙන් පද්ධතිය ලුහුවත් වීමක්‌ සිදු වුව හොත් ස්‌වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමේ පහසුව සලසාලයි.

විදුලි පද්ධතිය භූගත කිරීම



එක්‌ විදුලි බුබුළක්‌ දැල්වීම ආදී ඉතා ම කුඩා පද්ධතියක දී ඇරෙන්නට, අන් සියලු සූර්ය විදුලි පද්ධති භූගත කළ යුතු ය. මෙයින් අදහස්‌ වන්නේ Rණ අග්‍රයට සම්බන්ධිත වයරයක්‌ පොළොවට සම්බන්ධිත භූගත දණ්‌ඩක්‌ හා සම්බන්ධ කිරීමයි. බොහෝ විට මේ දණ්‌ඩ මීටරයක්‌ පමණ දිග ලෝහමය දණ්‌ඩකි. ඉලෙක්‌ටි්‍රක්‌ බඩු අලෙවිහල් හෝ හාර්ඩ්වෙයාර්වලින් මෙය ලබාගත හැකි ය.

මෙලෙස භූගත කිරීමෙන් අත් වන ප්‍රයෝජන ලෙස, ස්‌ථිතික විද්යුතය එක්‌ රැස්‌ වීම වැළැක්‌වීමත්, පරිපථයට යම් හානියක්‌ සිදු වුව හොත් අධි වෝල්ටීයතාවක්‌ ඇති වීම පාලනය කිරීමට හැකි වීමත් දැක්‌විය හැකි ය.

ඔබේ පද්ධතිය අධි වෝල්ටීයතාවේ කටයුතු කරයි නම් පරිපථ විසන්ධිකාරක පැනල අතර තිබිය යුතු ය. මෙයින් අදහස්‌ වන්නේ සම්පූර්ණ පද්ධතිය විසන්ධි කිරීමට අමතරව සූර්ය ඇරියේ වෝල්ටීයතාව යම් පැනල කිහිපයක වෝල්ටීයතාව දක්‌වා පහත දැමිය හැකි බවයි. මෙය පද්ධති නඩත්තුවේ දී හා හදිසි අවස්‌ථාවක දී ආරක්‌ෂාව පිළිබදව ගනු ලබන පියවරකි.

සූර්ය ඇරියක ලුහුවත් වීමක්‌ හේතු කිහිපයක්‌ නිසාවෙන් සිදු විය හැකි ය. එය පද්ධති සවි කිරීමේ දී සිදු වූ වරදක්‌ විය හැකි ය. නැත හොත් ගෙවී යැම් ආදිය පද්ධතියේ සිදු වීමෙන් ද මෙසේ විය හැකි ය. ඇතැම් අවස්‌ථාවල මොණරුන්, නරින් ආදී සතුන් පැමිණ සිදු කරන හානි නිසා විය හැකි ය.

නුසුදුසු ප්‍රමාණයන් ගෙන් යුත් කේබල් භාවිතයේ දී ලුහුවත් වීම් සිදු විය හැකි ය. සූර්ය පද්ධති සදහා ම නිපදවූ කේබල් වර්ග ඇත. ඒවා පාරජම්බුල කිරණ, අධික උෂ්ණත්වය ආදියට පමණක්‌ නො ව සතුන් ගේ හානිවලින් පවා ආරක්‌ෂා වන පරිදි නිපදවා තිබේ. පැනල අතරත්, සූර්ය පාලකය හා ඉන්වර්ටරයත් සදහා මේ කේබල් භාවිතය නිර්දේශ කෙරේ.

සාමාන්‍යයෙන් ලුහුවත් වීමක්‌ සිදු වුව හොත් සම්පූර්ණයෙන් ම ශක්‌තිය විනාශ නො වේ. ඒ වෙනුවට සිදු වන්නේ ශක්‌ති නිෂ්පාදනය අඩාළ වී ප්‍රතිරෝධය ක්‍රමයෙන් ඉහළ යැමයි. ලුහුවත් වීමට හේතු වූ වරද ඇති ස්‌ථානයේ විශාල තාපයක්‌ ජනනය වී ඇත. භූගත ආරක්‌ෂක පද්ධතියක්‌ ඇත්නම් තවදුරටත් හානි වීම් වළකා ස්‌වයංක්‍රීයව මේ අවස්‌ථාවේ පද්ධතිය විසන්ධි කෙරේ. එහෙත් මෙවැනි භූගත ආරක්‌ෂක පද්ධතියක්‌ නැත්නම්, මෙසේ ජනනය වන තාපය සෙල්සියස්‌ සිය ගණනක ඉතා අධික උෂ්ණත්වයක්‌ ඇති කරනු ඇත. එවැනි අවස්‌ථාවන්හි දී ගිනි අනතුරු සිදු ව තිබේ.

එවැනි ගින්නක්‌ ඇති වුව හොත්, හැකිතාක්‌ ඉක්‌මනින් පද්ධතිය හුදෙකලා කළ යුතු ය. සූර්ය ඇරිය ආලෝකය තිබෙන තාක්‌ විදුලිය ජනනය කරන නිසා එය විසන්ධි කිරීමට පරිපථ විසන්ධිකාරකයක්‌ නැත්නම් නොහැකි වේ. එවිට ඉතා දැඩි හානියක්‌ ගිනිගැනීම පාලනය කිරීමට නොහැකි වීමෙන් සිදු වේ. මේ අයුරින් DC පරිපථ විසන්ධිකාරකයක ඇති වටිනාකම ඔබට තේරුම්ගත හැකි ය.

සූර්ය ඇරිය පද්ධතියේ විසන්ධි/හුදෙකලා කළත් එමගින් විදුලිය නිපදවීම නවතා නැති බව මතක තබාගන්න. සූර්ය පැනල කිහිපයක්‌ ශ්‍රේණිගතව සවි කර ඇත්නම් වෝල්ටීයතාව හා ධාරාව ඉහළ අගයක්‌ ගන්නා නිසා යම් අවදානමක්‌ තවමත් තිබේ. පැනල අතර ද පරිපථ විසන්ධිකාරක තිබීම මේ අවදානම අඩු කිරීමට ඇති සරලතම විසදුම ය.

ප්‍රත්‍යාවර්ත ධාරා ආශ්‍රිත අනතුරු හා ආරක්‌ෂක ක්‍රමවේද

නිවසක සාමාන්‍ය ප්‍රත්‍යාවර්ත ධාරාව ආශ්‍රිත ආරක්‌ෂක ක්‍රමවේද මෙහි දී අදාළ වේ. අධිවෝල්ටීය ධාරාවක්‌ නිසා ශ්‍රී ලංකාවේ හා ලොව බොහෝ රටවල ජාලගත සැලසුම් හා කටයුතු කිරීමේ දී සුදුසුකම්ලාභී පුද්ගලයන් අවශ්‍ය වන්නේ පුද්ගල හා පද්ධති ආරක්‌ෂාව පතා ය.

මෙහි දී ප්‍රත්‍යාවර්ත ධාරා විසන්ධිකාරක ස්‌විච දෙකක්‌ යෙදිය යුතු ය. එකක්‌ ඉන්වර්ටරය හා බෙදාහැරීමේ පුවරුව ළග යොදා සූර්ය පද්ධතිය හුදකලා කිරීමට භාවිත කරයි. අනෙක ජාලය හා ඔබේ බෙදාහැරීමේ පුවරුව අතරත් යොදයි. එමගින් ජාලයෙන් ඔබේ පද්ධතිය හුදකලා කිරීමට හැකි වේ.

ජාලගත සවි කිරීමක දී අනිවාර්යයෙන් CEB හෝ LECO ආයතනයන්හි අවසර ලබාගැනීම අත්‍යවශ්‍ය බව මුල දී සදහන් වෙයි. ඔවුන් ඔබේ පද්ධතියේ සුරක්‌ෂිතභාවයට අවශ්‍ය උපදෙස්‌ හා ක්‍රියාමාර්ග වෙත ඔබව යොමු කරනු ඇත.

පැනලයන්හි අධික උෂ්ණත්වය

මීට පෙර කතා කළ කාරණාවලට අමතරව සූර්ය පැනල අධික උෂ්ණත්වයකට රත් වේ. සූර්ය පැනල කළු (අදුරු) හා සූර්යයාට මුහුණ ලා පවත්නා නිසා එසේ සිදු වේ. එබැවින් ඝෘජු ව ස්‌පර්ශ කළොත් සමට හානි වීමට ඉඩ ඇති බව මතක තබාගන්න. විශේෂයෙන් ම දගකාර කුඩා ළමයින් පැමිණිය හොත් ඔවුන්ට ඇල්ලීමට නොහැකි බවට වග බලාගන්න.

වයර් හා කේබල් පැනලයන් මතින් නො යෑවීමට කටයුතු කරන්න. පැනල අධික උෂ්ණත්වයකට රත් වන නිසා ඒවායේ ස්‌පර්ශ වන වයර්වල ආවරණ ක්‍රමයෙන් ගෙවී යා හැකි ය. එලෙස කේබලයකට හෝ සූර්ය පැනලයකට හෝ හානි වූ විට උෂ්ණත්වය ඒකරාශි වී ගිනි අනතුරු සිදු වන බව නැවතත් සිහි කරගන්න. එබැවින් භූගත කිරීමේ පද්ධතිය හා පරිපථ විසන්ධිකාරකයන්හි වටිනාකම සිතේ ධාරණය කරගන්න. තව ද මෙසේ කේබල් මගින් ආවරණය වීමෙන් සූර්ය විද්යුත් ජනනයට බාධා සිදු වේ.

මෙසේ ආරක්‌ෂාව ගැන වග බලාගැනීම කිසිසේත් මුදල් නාස්‌තියක්‌ නො වේ. පද්ධති නිර්මාණකරණයේ ආරක්‌ෂාව ගැන හොඳින් සැලකිලිමත් වීම වටිනා මනුෂ්‍ය ජීවිත හා දේපළ පිළිබද සුරක්‌ෂිත බවක්‌ ගෙන දෙයි. අතිරේකව මුදල් වැය වන පරිපථ විසන්ධිකාරක හා භූගත කිරීමේ පද්ධති මගින් සිදු වන්නේ මුදල් නාස්‌තියක්‌ නො ව මුදල් ඉතිරියක්‌ බව යළි සිහියේ තබාගන්න.

රවිනි කරුණාරත්න
ඉංජිනේරු,
සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය