logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ප්‍රතිජීවක නව පරිසර දූෂකයක්‌ ලෙස

ප්‍රතිජීවක භාවිත නො කළ කෙනකු මෙරට නොමැති තරම් ය. කුඩා දරුවා ගේ පටන් වයෝවෘද්ධ තැනැත්තා දක්‌වා ප්‍රතිජීවක භාවිතය අතිශය සුලබ ය. එහෙත් අප භාවිත කළ හා භාවිත නො කර ඉවත දමන ප්‍රතිජීවක මඟින් අප හට ම ගැටලු ඇති විය හැකි බව ඔබ කවදා හෝ සිතුවා ද? එහෙත් දැන් එය එසේ සිදු ව ඇත්තේ ම ය.

ප්‍රතිජීවක යනු බැක්‌ටීරියා සෛල විනාශ කරනු ලබන හෝ ඒවායේ වර්ධනය නිශේධනය කර දමනු ලබන රසායනික සංයෝග අඩංගු ඖෂධ ලෙස අර්ථ දැක්‌විය හැකි අතර මේවා බැක්‌ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට බහුලව භාවිත කරනු ලැබේ. කවුරුත් හොඳින් අසා පුරුදු පෙනිසිලින් හා එහි ව්‍යqත්පන්න ප්‍රතිජීවක සඳහා උදාහරණ ලෙස ගත හැකි ය. 1926 වර්ෂයේ දී ඇලෙක්‌සැන්ඩර් ෆ්ලෙමින්ග් විසින් දිලීර විශේෂයක්‌ මගින් නිපදවන සංඝටක සතු ව බැක්‌ටීරියා වර්ධනය නිශේධනය කිරීමේ හැකියාවක්‌ පවතින බව සොයාගැනු ලැබීම ප්‍රතිජීවක ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කරයි. 1939 දී එඩ්වර්ඩ් ෙච්න් සහ හොවාර්ඩ් ෆ්ලෝරි මේ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ සිදු කළ අතර මිනිසුන්ට වැළඳෙන බැක්‌ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට ඉහත දී සඳහන් කරන ලද සංඝටකය වූ 'පෙනිසිලින්' යොදාගත හැකි බව පරිකල්පනය කරන ලදි. එසේ ම දෙවැනි ලෝක යුද්ධය සමයේ දී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුල වශයෙන් පෙනිසිලින් භාවිත කරනු ලැබූ අතර මිලියන ගණනක්‌ වූ රෝගී ජීවිත බේරාගැනීමට හැකියාවක්‌ ලැබිණි. 1945 දී මොවුන් දෙදෙනා ගේ මේ සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන ලදි. මෙලෙස ආරම්භ වූ ප්‍රතිජීවකවල විකසනය වර්තමානය වන විට වඩාත් ප්‍රබල ප්‍රතිජීවක මාදිලි දක්‌වා විහිදී ඇත. එසේ ම මේ ප්‍රතිජීවක නිසා එදා මෙදාතුර නො ගිණිය හැකි තරම් රෝගී මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක්‌ බේරාගැනීමට හැකියාවක්‌ ලැබී ඇත. සංගණනයන්ට අනුව ලොව පුරා ප්‍රතිජීවක පරිභෝජනය වසරකට මෙටි්‍රක්‌ ටොන් 100,000 සිට 200,000 දක්‌වා අගයක්‌ ගනී.

ඖෂධ භාවිතය අතින් අප රට ආසියාවේ ප්‍රමුඛ ස්‌ථානයක්‌ අත්පත් කරගනී. 2015 වර්ෂයේ දී ඖෂධ පිළිබඳ අවදානම්/පරිදාන දර්ශකයට අනුව ඖෂධ වෙළෙඳපොළ පිළිබඳ ආසියා-පැසිපික්‌ කලාපයේ 17 වැනි ස්‌ථානය අත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙලෙස වෙළෙඳපොළේ පවතින ඖෂධ අතරින් 90%ක්‌ පමණ ම ආනයනය කරනු ලබන අතර 10%ක්‌ පමණ වන සුළු ප්‍රමාණයක්‌ අප රට තුළ දී ම නිෂ්පාදනය කරනු ලැබේ. මෙලෙස ආනයනය කරනු ලබන ඖෂධ හරහා අප රටින් ගිලිහෙන මුදල් සම්භාරය රටේ ආර්ථිකයට කරනු ලබන බලපෑම පිළිබඳව සුළු කොට තැකිය නොහැකි ය. සංඛ්‍යාලේඛනවලට අනුව 2013 වර්ෂයේ දී පමණක්‌ ශ්‍රී ලංකා රජය මගින් ඖෂධ සඳහා රුපියල් බිලියන 67.7ක්‌ පමණ වැය කර තිබෙන අතර 2014 වර්ෂයේ දී එම අගය රුපියල් බිලියන 75 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මෙලෙස ශ්‍රී ලංකාව තුළ අලෙවි වන ඖෂධ අතරින් ඉතා ඉහළ වෙළෙඳපොළක්‌ ප්‍රතිජීවක මගින් අත්පත් කරගෙන ඇත.

කෙසේ වෙතත් වර්තමානය වන විට ආර්ථිකමය, සෞඛ්‍යමය හා පාරිසරිකමය වශයෙන් වැදගත් වන්නා වූ ගැටලු රැසක්‌ ඇති කිරීම සඳහා ප්‍රතිජීවක අතිභාවිතය හා අවභාවිතය හේතුපාදක වී ඇත. ඇමෙරිකානු ආයතනයක්‌ වන WebMd මගින් පවත්වනු ලැබූ ගෝලීය සංගණනයකට අනුව 95%ක්‌ පමණ වන සෞඛ්‍ය විශේෂඥයන් විසින් රෝගීන් සඳහා ප්‍රතිජීවක නිර්දේශ කරනු ලබන්නේ ඒවායේ අවශ්‍යතාව පිළිබඳව නිසි තක්‌සේරුවකින් තොර ව ය. එසේ ම බොහොමයක්‌ පුද්ගලයන් විසින් වයිරස මගින් ඇති කරනු ලබන සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව සඳහා ද ප්‍රතිජීවක භාවිත කරනු ලබන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොර ව ය. මන්ද යත් ප්‍රතිජීවක ක්‍රියාකාරී වන්නේ බැක්‌ටීරියා මර්දනය සඳහා පමණක්‌ වන බැවිනි.

ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලි ඇති වීම මෙසේ සුලබව සිදු කරනු ලබන ඖෂධ අතිභාවිතය හා අවභාවිතය නිසා උද්ගත වී ඇති භයානක තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකි ය. මෙහි දී ඇති වන නව බැක්‌ටීරියා මාදිලි සතු ව ප්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ හැකියාවක්‌ ගොඩනැගී පවතින අතර ප්‍රතිජීවක මගින් විනාශ කිරීමට හෝ නිශේධනය කිරීමට හෝ නොහැකි වෙයි. මෙනිසා බැක්‌ටීරියා රෝග මර්දනය කිරීමෙහි ලා ඖෂධ භාවිතය ඵල රහිත වන අතර රෝගීන් ගේ දේහයන් තුළ වර්ධනය වන බැක්‌ටීරියා සෛල නිසා රෝග ව්‍යාප්ත වීම වේගවත් වීමත්, දීර්ඝකාලීන රෝග හටගැනීමත්, මෙනිසා ම රෝගීන් මරණයට පත් වීමත් සිදු වේ. එසේ ම මේ තත්ත්වය මහජන සෞඛ්‍යය කෙරෙහි අනෙකුත් ක්‍රමවලින් ද බලපාන අතර වැදගත් ප්‍රතිකාර ක්‍රම වන අවයව බද්ධ කිරීම්, රසායනික ප්‍රතිකාර ක්‍රම හා අනෙකුත් සැත්කම් සඳහා ඉතා ම අවදානම් ලෙස මෙය බලපානු ලබන්නේ පශ්චාත් සැත්කම් ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක යනු ඵල රහිත ඖෂධයක්‌ වීමට ඉඩ ඇති බැවිනි.

කෙසේ වෙතත් මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව අද ඊයේ උද්ගත වූ තත්ත්වයක්‌ නො වන අතර එය ප්‍රතිජීවක භාවිතය ආරම්භ වූ මුල් අවධිය දක්‌වා ම දිව යයි. 1942 වර්ෂයේ දී පළමුවරට පෙනිසිලින් සඳහා ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලියක්‌ (Staphylococcus aureus) සොයාගන්නා ලද්දේ රෝහල්වල පෙනිසිලින් භාවිත කිරීම ඇරඹී වසර 3ක්‌ ගත වීමටත් මත්තෙනි. වර්තමානය වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව ගෝලීය වශයෙන් මුහුණපා ඇති ව්‍යසනයක්‌ දක්‌වා වර්ධනය වී ඇති අතර වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන පෙළේ ප්‍රතිජීවක බොහොමයක්‌ නව බැක්‌ටීරියා මාදිලිවලට එරෙහි ව ඵල රහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමේ අවදානමක්‌ පැනනැගී ඇත. ජාත්‍යන්තර නිමානයන්ට අනුව 2050 වසර වන විට ආසියානු කලාපයේ පමණක්‌ මිලියන 4.7ක්‌ පමණ වන මරණවලට ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලි හේතු පාදක වනු ඇත. මේ හේතූන් නිසා ම ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව වැළැක්‌වීම/පාලනය කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත. 2016 වර්ෂයේ මැයි මාසයේ දී ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති 69 වැනි සෞඛ්‍ය සම්මේලනයේ දී ද ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලිවලට එරෙහි ව සටන් කිරීම සඳහා වන වැඩසටහන් ප්‍රතිස්‌ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් ප්‍රතිඥා දුනි. මෙයට අනුව 2016 වසරේ නොවැම්බර් 16 වැනි දින ප්‍රතිජීවක සඳහා වන ජාතික ප්‍රතිපත්තියක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. සුලබ බැක්‌ටීරියා ආසාදන සඳහා නිර්දේශිත ප්‍රතිජීවක හා මාත්‍රාවන් පිළිබඳ විස්‌තරයන් මෙහි අඩංගු වේ. මෙමගින් ප්‍රතිජීවක නිසි භාවිතය හා ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලි හටගැනීම පාලනය කිරීම අරමුණු කොටගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්‌ටීරියා මාදිලි ඇති වීම සඳහා මෙතෙක්‌ වැඩිදුර අවධානයට ලක්‌ නො වී පවතින තවත් සාධකයන් ඉවහල් වනු ලැබේ. මේ අතරින් ප්‍රතිජීවක අඩංගු අප ජලය ස්‌වාභාවික ජල මූලාශ්‍රවලට එක්‌ වීම වැදගත් ස්‌ථානයක්‌ ගනී. මේ ක්‍රියාවලිය සඳහා ඉවහල් වන ප්‍රධාන හේතුවක්‌ ලෙස හඳුනාගත හැක්‌කේ අප රට තුළ පවතින ප්‍රධාන පෙළේ මෙන්ම අනෙකුත් රෝහල්වලත් අප ජලය පිරිපහදු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පවත්වාගෙන නො යැමයි. ප්‍රතිජීවක සියල්ල ම පාහේ හොඳින් ජල ද්‍රdවී වන අතර බොහෝ ප්‍රතිජීවකවල අඩංගු වන ක්‍රියාකාරී සංයෝගයෙන් 30% - 90% අතර ප්‍රමාණයක්‌ මුත්‍ර සමග බැහැර වන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. මේ නිසා ප්‍රතිජීවක සහිත අපජලය පරිසරයට එක්‌ වීම සිදු වේ. ස්‌වාභාවික ජල මූලාශ්‍රවලට ප්‍රතිජීවක මිශ්‍ර වීමට බලපානු ලබන අනෙකුත් ප්‍රධාන පෙළේ සාධකය වන්නේ කෘෂිකර්මාන්තයේ දී මෙන්ම මත්ස්‍ය කර්මාන්තයේ දී ද වර්ධක උත්තේජකයක්‌ ලෙස ප්‍රතිජීවක භාවිතය ඉහළ යැමයි.

අප රට තුළ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ ප්‍රමාණය ඉතා ම සීමිත වුව ද සුලබව භාවිත වන ප්‍රතිජීවක ප්‍රභේද වන ක්‌විනොලොන්ස්‌, සල්ෆනෝඇමයිඩ් හා මැක්‌රොලයිඩ්ස්‌ යනාදිය ලොව පුරා රටවල අපජලයේ, පසේ මෙන්ම ආහාර ද්‍රව්‍යවල ද අඩංගු වන බව වාර්තා වී ඇත. එමෙන් ම එක්‌සත් ජනපදයේ හා ජර්මනියේ කරන ලද පර්යේෂණවලින් ජනාකීර්ණ ප්‍රදේශ, කාර්මික ප්‍රදේශ හා කෘෂිකාර්මික ප්‍රදේශවලින් ආරම්භ වන ජලාපවහන මාර්ගවල එකිනෙකට වෙනස්‌ ප්‍රතිජීවක 15කට වඩා අධි මාත්‍රාවලින් හමු වන බව වාර්තා වී ඇත. අප රට තුළ තත්ත්වය මෙයටත් වඩා භයානක විය හැක්‌කේ දියුණු රටවල් හා සැසඳීමේ දී අප රට තුළ අපජලය කළමනාකරණය ඉතා ම දුර්වල තත්ත්වයක පැවතීම නිසා ය. දැන් දැන් අප රටෙන් ද ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්‌ටීරියා හමු වන බැව් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය පද්මලාල් මානගේ ඇතුළු පර්යේෂක කණ්‌ඩායම සිදු කළ පර්යේෂණ මඟින් සනාථ වී ඇත.

අනෙක්‌ වැදගත් කරුණ වන්නේ රෝහල්වලින් නිකුත් වන අපජලයේ ව්‍යාධිකාරක බැක්‌ටීරියා අඩංගු වීමේ සම්භාවිතාව ඉතා ම ඉහළ අතර මොවුන් ගෙන් වැඩි දෙනකු සතු ව ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවක්‌ පැවතීමට හැකි බව සොයාගෙන තිබීමයි. එමෙන් ම එම බැක්‌ටීරියාවන් ගේ ගෙනෝමයේ පවතින ජාන ස්‌වාභාවික පරිසරයේ සිටින අනෙකුත් බැක්‌ටීරියාවන්ට ද සම්ප්‍රේෂණය වීමෙන් එම බැක්‌ටීරියාවන් සතු ව ද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවක්‌ ගොඩනැගීම සිදු වන බව සොයාගෙන තිබේ.

එමෙන් ම මෙසේ අපවහන ජලය හරහා පරිසරයට එක්‌ වන ප්‍රතිජීවක, අනෙකුත් පරිසර දූෂක මෙන් නො ව ස්‌වාභාවික පරිසරයේ වෙසෙන බැක්‌ටීරියාවන් ගේ පැවැත්ම සඳහා ද ඝෘජු ව ම බලපෑම් ඇති කරයි. මේ හිතකර බැක්‌ටීරියාවන් ආහාර දාමවල වැදගත් පුරුකක්‌ වන වියෝජක කෘත්‍යයන් ඉටු කරන අතර කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය ආදී ස්‌වාභාවික චක්‍ර සඳහා ද දායක වේ. මේ හේතූන් සැලකීමේ දී පරිසරයට එකතු වන ප්‍රතිජීවක මගින් පාරිසරික සමතුලිතතාවට ඇති කරනු ලබන බලපෑම සුළු කොට තැකිය නොහැකි ය. මේ හේතූන් නිසා ප්‍රතිජීවක පරිසරයට එක්‌ වීම වැළැක්‌වීමට මෙන්ම දැනටමත් පරිසරයට එකතු වූ ප්‍රතිජීවක ඉවත් කිරීම සඳහා ද වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ බවට පත් ව ඇත. මේ සඳහා ප්‍රතිජීවක සහිත අපජලය ප්‍රතිකර්මණය කළ හැකි ක්‍රම පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රධාන වශයෙන් ම අධිශෝෂණය, ඔක්‌සිකරණය හා ජෛවහායනය යන ක්‍රියාවලින් තුන මගින් ප්‍රතිජීවක පරිසරයෙන් ඉවත් වීම ස්‌වාභාවික ව ම සිදු වේ. කෙසේ වෙතත් මේ සඳහා දීර්ඝ කාලයක්‌ ගත වේ. එමෙන් ම සාම්ප්‍රදායික ජල පිරිපහදු ක්‍රම ප්‍රතිජීවක ප්‍රතිකර්මණය සඳහා ඵල රහිත වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මේ නිසා ප්‍රධාන වශයෙන් ම ප්‍රතිජීවක සහිත අපජලය පිරිපහදු කිරීමේ නව ක්‍රම සොයාගැනීම කෙරෙහි විද්‍යාත්මක ලෝකයේ අවධානය යොමු වී ඇත. කුඩු බවට පත් කරන ලද අර්ධ සන්නායක මගින් සිදු කරනු ලබන ප්‍රභා උත්ප්‍රේරණය මෙසේ යොදාගත හැකි ක්‍රමවේදයකි. මෙහි දී කාබනික දූෂක අකාබනික ද්‍රව්‍ය, ඛනිජ අම්ල හා අකාබනික අයන බවට පරිවර්තනය වීම සිදු වේ. TiO2 යනු මෙසේ ප්‍රතිජීවක ප්‍රතිකර්මණය සඳහා යොදාගැනීමට ඉහළ විභවයක්‌ ඇති අර්ධ සන්නායකයක්‌ බව හඳුනාගෙන ඇත. එය සතු ව ඇති ඉහළ ක්‍රියාකාරිත්වය, සාපේක්‌ෂව ලාභදායී වීම සහ විෂ රහිත බව මේ සඳහා හේතු වී ඇත. ඕසෝන් වායුව මගින් අපජලයේ අඩංගු ප්‍රතිජීවක ඔක්‌සිකරණය කිරීම මෙසේ යොදාගත හැකි තවත් ක්‍රමයකි. මේ ක්‍රමය භාවිතයෙන් අපජලයේ අඩංගු 90%ක්‌ පමණ වූ ප්‍රතිජීවක ප්‍රමාණයක්‌ ඉවත් කළ හැකි බව සොයාගෙන ඇත. කෙසේ වෙතත් ඕසෝන් යනු වායු දූෂකයක්‌ වන බැවින් භාවිතය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් කළ ක්‍රම දෙකට අමතරව තවත් බොහෝ ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත් අප රට සඳහා ප්‍රතිජීවක අඩංගු අපජලය ප්‍රතිකර්මණ ක්‍රියාවලියක්‌ තෝරාගැනීමේ දී අප රටේ ආර්ථිකයට දරාගත හැකි ආකාරයේ අඩු පිරිවැයක්‌ සහිත කාර්යක්‌ෂම ක්‍රමයක්‌ තෝරාගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

විරාඡ් ගුණරත්න
ජාතික මූලික අධ්‍යයන ආයතනය - මහනුවර
ආචාර්ය මෙත්තිකා විතානගේ
ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ඉංජිනේරු කමිටුව හා පරිසර කමිටුව, ශ්‍ර ලංකා විද්‍යභිවර්ධන සංගමය