logo3.gif (702 bytes)

HOME


විදු පත් ඉරුව

පසුගිය දිනවල උද්ගත වූ කසළ ප්‍රශ්නයත් සමග බොහෝ දෙනෙක්‌ 'මීතේන්' වායුව ගැන කතා කළ හ.

ඇත්තට ම 'මීතේන්' යනුවෙන් හැඳින්වෙන්නේ කවරාකාරයේ වායුවක්‌ ද යන්න මෙවර විමසා බැලීම වටී යෑයි සිතේ.

'වගුරු වායුව' ලෙස ද හැඳින්වෙන 'මීතේන්' වායුව මධ්‍යගත කාබන් පරමාණුවකින් ද, ඒ වටා බැඳුණු හයිඩ්‍රජන් පරමාණු හතරකින් ද යුක්‌ත වෙයි. එනිසා සරල කාබනික සංයෝගයක්‌ ලෙස වුව ද මීතේන් හැඳින්විය හැකි ය.

මීතේන් වායුව නිෂ්පාදනය වන්නේ ඔක්‌සිජන් රහිත තත්ත්වයේ සිදු වන ජෛව-රසායනික ප්‍රතික්‍රියා නිසාවෙනි. මෙහි දී ක්‌ෂුද්‍රජීවීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි සමහර ක්‌ෂුද්‍රජීවීන් එළිමහනේ ඔක්‌සිජන් ඇති විට ක්‍රියාකාරී වේ. එහෙත් සමහර ක්‌ෂුද්‍රජීවීන් ක්‍රියාත්මක වන්නේ ඔක්‌සිජන් නොමැති විට ය. ඔක්‌සිජන් ඇති විට ඔවුන් සක්‍රිය නො වේ. මීතේන් නිපදවෙන්නේ නිර්වායු ස්‌වසනයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

බොහොමයක්‌ පහත් බිම්වල ඇති මඩ වගුරු කදිම කාබන් සංචිත වේ. ඒ, එම ස්‌ථානවලට ජලයත් සමග ගසාගෙන එන කාබනික සංයෝග (මැරුණු ශාක සහ සත්ත්ව කොටස්‌) එකතු වන බැවිනි. පහත්බිම් බොහෝ විට ජලයෙන් යට වී බොහෝ කාලයක්‌ පවතී. එපමණක්‌ නො ව මේ ප්‍රදේශවලට ගසාගෙන එන රොන්මඩ හා තැන්පත් වන නිසා කාබනික ද්‍රව්‍ය ඔක්‌සිජන් හා ගැටීම නවතාලයි.

මේ හා සමාන ම ක්‍රියාදාමයක්‌ කසළ බැහැර කරන ස්‌ථානවල ද සිදු වේ. දිගින් දිගට ම කසළ ගොඩ කිරීම නිසා පහළින් ඇති කසළ වැසී ගොස්‌ ඔක්‌සිජන් රහිත පරිසරයක්‌ නිර්මාණය කරයි. එය ඔක්‌සිජන් රහිත තත්ත්වවල දී සක්‍රිය වන ක්‌ෂුද්‍රජීවීන් උදෙසා කදිම අවස්‌ථාවක්‌ වෙයි.

මීතේන් ජනනය කරන්නේ බොහෝ විට බැක්‌ටීරියා වර්ග වේ. මොවුන් 'මීතේන් ජනකයන්' ලෙස හඳුන්වන අතර ඔක්‌සිජන් සඳහා අතිශය සංවේදී වෙයි. ජීවී ලෝකයේ පූර්වජයන් ලෙස වුව ද හැඳින්විය හැකි මේ ක්‌ෂුද්‍රජීවී විශේෂ අයත් වන්නේ 'ආකියා' (Archaea) නැමති ජීවී කොට්‌ඨාශයට ය. මීතේන් ජනකයන් අවට පරිසරයේ ඇති කාබනික ද්‍රව්‍ය තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගැනීමට භාවිත කිරීමේ දී මීතේන් වායුව එහි අතුරුඵලයක්‌ ලෙස ජනනය වෙයි. මීතේන් ජනක විශේෂ 30ක්‌ පමණ ලොව හඳුනාගෙන ඇති අතර ඔවුන් ගෙන් විශේෂයකට කාබන්ඩයොක්‌සයිඩ් වායුව මීතේන් වායුව බවට පත් කිරීමේ හැකියාව පවතී.

කසළ සංචිත නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් සැම කසළ තට්‌ටුවක්‌ මත ම පස්‌ තට්‌ටුවක්‌ ඇතිරිය යුතු අතර මෙවැනි කළමනාකරණයක්‌ පසුගිය දා නාය ගිය මීතොටමුල්ල කුණු කන්දේ හරිහැටි භාවිත වූයේ නැත. එමෙන් ම කසළ වර්ගීකරණයකින් ද තොර ව බැහැර කෙරුණු බව සනාථ විය. කෙසේ වෙතත් කසළ සංචිත සැලකීමේ දී කාබනික ද්‍රව්‍ය වියෝජනය අවස්‌ථා ගණනාවකින් සිදු වන බව සොයාගෙන තිබේ. එහි මූලික ම අවස්‌ථාවේ දී පමණක්‌ ඔක්‌සිජන් සහිත පරිසරවල වෙසෙන ක්‌ෂුද්‍රජීවීන් සහභාගී වන අතර ඉතිරි සැම අවස්‌ථාවක දී ම ක්‍රියාත්මක වන්නේ මීතේන් ජනකයන් ය.

මීතේන් වායුව වහා ගිනිගන්නාසුලු වායුවක්‌ වන අතර ජීව වායුව ලෙස ශක්‌ති අවශ්‍යතාව සදහා ලොව බොහෝ රටවල යොදාගනී. මේ සඳහා නිර්වායු තත්ත්ව ඇති කරමින් නිසි පරිසර ලබා දී මීතේන් වායුව එකරැස්‌ කරගැනීමට තාක්‌ෂණය වැඩි දියුණු වී ඇත. එනිසා ය, එකතු වන කාබනික කසළ ධන උල්පතක ලෙස හඳුන්වන්නේ.

වාතයේ ප්‍රතිශතයක්‌ ලෙස මීතේන් වායුව මේ වන විට බිලියනයකට කොටස්‌ 1800ක්‌ පමණ අඩංගු වේ. පසුගිය ශතකය තුළ මීතේන් සාන්ද්‍රණයේ ඉහළ යැම මානව ක්‍රියාකාරකම්වල වර්ධනය පිළිබිඹු කරයි. හරිතාගාර වායුවක්‌ ලෙස ප්‍රමුඛ කාර්යයක්‌ ඉටු කරන මීතේන් වායු සාන්ද්‍රණය ඉහළ යැම ප්‍රමුඛ වන්නේ උත්තර අර්ධගෝලයේ බව පැවසේ.

වායුගෝලයේ මීතේන් ප්‍රතිශතය 5%කට වඩා අඩු නම් ස්‌වාභාවිකව ගිනිගැනීමේ ප්‍රවනතාවක්‌ නොමැති අතර එයට වඩා වැඩි වන විට ඉබේ ගිනිගැනීමට ඇති හැකියාව ඉහළ යයි. යම් තැනක මීතේන් සාන්ද්‍රණය 15%ක්‌ පමණ වන්නේ නම් ගිනිගැනීමේ හැකියාව ඉතා ඉහළ අතර එය අනතුරුදායක තත්වයක්‌ නිර්මාණය කරයි. බොහොමයක්‌ කසළ බැහැර කරන ස්‌ථානවල මීතේන් සාන්ද්‍රණය වැඩි විය හැකි නමුත් ජනනය වන මීතේන් වහා වායුගෝලය හා මිශ්‍ර වී තනුක වන නිසා සාන්ද්‍රගත වීම වළකයි.

කසළ කඳුවලින් මුක්‌ත වන මීතේන් වායුව විටෙක කසළ කඳු තුළ ම සිර වන්නට පුළුවන. එනිසා අභ්‍යන්තර සාන්ද්‍රණය 50%කට වඩා වැඩි වන්නට පුළුවන. එනමුත් අභ්‍යන්තර පිපිරීමකට ලක්‌ වන්නට ඇති හැකියාව අඩු බව ය විද්‍යාඥයන් පවසන්නේ. එහෙත් එලෙස සාන්ද්‍රගත වූ මීතේන් වායුව බාහිරයට ගලා යැම නිසා සිදු වන තනුකකරණය (සාන්ද්‍රණය පහළ බැසීම) ගිනිගැනීම් සඳහා හේතු වන බව සොයාගෙන තිබේ.

පියවර ගණනාවක්‌ ඔස්‌සේ සිදු වන මීතේන් දහන ක්‍රියාවලියෙන් ලැබෙන්නේ කිලෝග්රෑමයකට මෙගා ජූල් 55.5ක ශක්‌තියකි. මීතේන් ශක්‌ති ජනකයක්‌ ලෙස භාවිතය ඉතා ප්‍රචලිත අතර ස්‌වාභාවික වායු මිශ්‍රණවල බොහොමයක්‌ ඇත්තේ මීතේන් වායුවයි.

ගෙදරක එකතු වන කාබනික ද්‍රව්‍ය (ආහාර, මළ ද්‍රව්‍ය ඇතුළුව) භාවිත කර මීතේන් ජනකයක්‌ නිර්මාණය කළ හැකි අතර බොහොමයක්‌ මෙරට විශ්වවිද්‍යාල සහ මේ පිළිබඳව උනන්දු වන ආයතන මේ සදහා විවිධ නිර්මාණ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබත් සැලකිලිමත් වන්නේ නම් එය මෙරට කසළ කළමනාකරණයට ඔබ දක්‌වන සෘජු දායකත්වයක්‌ බව වටහාගත යුතු ය. ඔබේ නිවහන තවම ඉදි කර නැතිනම් මේ කටයුත්ත ඉතා පහසු වේ. මීතේන් ජනකය එහි ම එක්‌ කොටසක්‌ ලෙස ඉදි කර මීතේන් වායුව ජනනය කර භාවිතයට ගත හැකි ය. අපතේ යන සම්පත් භාවිතයට ගෙන අප ශක්‌ති සුරක්‌ෂාව තහවුරු කළ යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ