logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
සත්‍ය ප්‍රේමය - 02

මෙය 1994 ජූලි 18 වැනි දින සිට සැප්තැම්බර් 14 වැනි දින දක්‌වා විදුසර පුවත්පතේ පළ වූ ප්‍රබන්ධ කතාවකි. විද්‍යා ප්‍රබන්ධ රචනය සඳහා උනන්දු වන නවකයන්ට මඟපෙන්වීමක්‌ ලෙස එකල පළ වූ ජනප්‍රිය ප්‍රබන්ධ කතා මෙසේ විටින් විට නැවත පළ කෙරෙයි.

ජෝර්ඡ් වෙස්‌ටන් එදින විවේක සුවයෙන් පසු විය. ඉරිදා දිනවල සැඳෑව ඔහු ගත කරන්නේ එලෙසිනි. සුවපහසු අසුනක ඉදගෙන පත්තර බලමින් සිටි ඔහුට, තම බිරිඳ එතැනට පැමිණීම බාධාවක්‌ විය. ඔහු පුවත්පතින් ඇස්‌ ඉවතට නො ගෙන, ඇය නුදුටු බවක්‌ හඟවාගෙන සිටියේ ය.

වෙස්‌ටන් මහත්මිය විනාඩි දෙකක්‌ නොඉවසිලිමත් හැඟීමකින් යුතු ව එතැන රැඳී සිටියා ය. ඉන් පසුව තවත් එපමණ ම කාලයක්‌ බලා සිට අවසානයේ දී නිශ්ශබ්දතාව බිඳ හෙලුවා ය.

"ජෝර්ඡ්"

"හ්ම්?"

"ජෝර්ඡ්, ඔය පත්තරේ අහකට දමලා මා දිහා බලන්න."

පත්තරය බිම පතිත විය. වෙස්‌ටන් තම බිරිඳ දෙස බැලී ය.

"ඇයි ග්‍රේස්‌, මොකක්‌ ද ප්‍රශ්නේ?"

"නිකන් බබෙක්‌ වෙන්න හදන්න එපා ජෝර්ඡ් .මම කිව්වේ, ග්ලෝරියායි අර භයානක යන්ත්‍රයයි ගැන."

"මොන භයානක යන්ත්‍රය ද?"

"බොරුවට ඒ ගැන දන්නේ නෑ වගේ ඉන්න හදන්න එපා. මම කීවේ ග්ලෝරියා, රොබී කියලා කියන රොබෝවා ගැන. එයා කිසි ම වේලාවක දුව ළගින් හෙල්ලෙන්නේ නැහැ."

"ඉතින් ඒකේ වැරැද්ද මොකක්‌ ද? ඒක ඒ විදිහට ම වෙන්න ඕනේ නැහැ නේ. අනෙක්‌ එක එයා භයානක යන්ත්‍රයක්‌ නෙමේ. එයා, මුදලේ වටිනාකමට ලබාගන්න පුළුවන් හොඳ ම වර්ගයේ රොබෝවක්‌. එයාව අරගන්න මගේ අවුරුද්දකින් භාගයක පඩියට කිට්‌ටු ගණනක්‌ වියදම් වුණා. ඒත් එයා ඒ ගානට වටිනවා. මගේ කන්තෝරුවේ හුඟක්‌ සේවකයන්ට වැඩිය එයාට මොළේ තියනවා."

ඔහු පත්තරය ආපසු ගැනීමට තැත් කළ මුත් ඔහු ගේ බිරිද ඊට පෙර එය උදුරාගත්තා ය.

"ජෝර්ඡ් මම කියන දේ හොඳට අහගන්න. මම කැමැති නැහැ මගේ දුව යන්ත්‍රයකට භාර කරන්න. යන්ත්‍රය කොයි තරම් බුද්ධිමත් වුණත් මට ඒකෙන් වැඩක්‌ නැහැ. ජීවයක්‌ නැති යන්ත්‍රය මොනව ද හිතන්නේ කියලා කාට වත් කියන්න බැහැ. ළමයි කියලා කියන්නේ යකඩවලින් හදපු දේවල්වලින් ආරක්‌ෂා කරන ජාතියක්‌ නෙවෙයි."

"ඔයා කවදා ඉඳල ද එහෙම දෙයක්‌ හිතුවේ? එයා ග්ලෝරියත් එක්‌ක අවුරුදු දෙකක්‌ එකට හිටියා. ඒ වුණත් ඔයා මීට කලින් එහෙම දෙයක්‌ කිව්වේ නැහැ."

"මුල දී තත්ත්වය මීට වැඩිය වෙනස්‌. ඒ කාලේ ඒක අලුත් දෙයක්‌, මගෙ වැඩත් හුඟක්‌ අඩු වුණා. ඒ වගේ ම ඒක ඒ කාලේ විලාසිතාවක්‌ වුණා. ඒත් දැන් එහෙම නෙවෙයි. අපේ අසල්වැසියෝ...."

"මොකක්‌ ද මේකට අසල්වැසියන් ගේ තියෙන සම්බන්ධය..? දැන් බලන්න, රෝබෝවක්‌, ළමයි බලාගන්න මෙහෙකාරියකට වඩා විශ්වාසදායකයි. රොබීව හදලා තියෙන්නේ එකම එක දෙයක්‌ අරමුණු කරෙdගන විතරයි. ඒ කියන්නේ ළමයෙක්‌ ගේ සහකාරයෙක්‌ හැටියට. එයා ගේ සම්පූර්ණ මානසිකත්වය ම ඒ අරමුණට ගැලපෙන්නයි හදලා තියන්නේ."

"ඒ වුණත් කොතැන හරි වැරැද්දක්‌ වුණොත්? රොබෝවේ මොකක්‌ හරි කොටසක්‌ ගැලවිලා රොබෝව නපුරු වෙලා ඊට පස්‌සේ.." එය සිහි වත් ම එය වචනවලට නැඟීමට, ඇය අපොහොසත් වූවා ය.

මොන බොරු ද ඒක කොහොමට වත් වෙන්න බැරි දෙයක්‌. රොබීව සල්ලිවලට ගත්ත වෙලාවෙ දී, අපි පළමුවැනි රොබෝ නියමය ගැන දීර්ඝ වශයෙටන් සාකච්ඡා කළා. ඔයා දන්නව නේ. රොබෝවකට කවදා වත් මනුෂ්‍යයකුට හිංසාවක්‌ කරන්න බැරි බව. ඒක ගණිතානුකූලව වුණත් සිදු කරන්න බැරි දෙයක්‌. අනිත් එක අවුරුද්දකට දෙවතාවක්‌ ම, සමාගමෙන් ඉංජිනේරුවෙක්‌ ඇවිල්ලා රොබීව හොඳට පරීක්‌ෂා කරලා බලනවා නේ? ඔයාට, මට පිස්‌සු හැදෙන්න තියෙන හැකියාවටත් වැඩිය අඩු හැකියාවක්‌ එයාට ඒකට තියෙන්නේ. කොහොම වුණත් අපි කොහොම ද එයාව ග්ලෝරියා ගෙන් වෙන් කරලා තියන්නේ?"

ඔහු පත්තරය ගැනීමට තවත් වරක්‌ උත්සාහ කළේ ය. ඔහු ගේ බිරිඳ එය යාබද කාමරයට විසි කළේ කෝපයෙනි.

"අන්න හරි, ජෝර්ඡ්, දුව ළමයි එක්‌ක සෙල්ලම් කරන්නෙ නැහැ. යාළු වෙන්න අහල පහළ ළමයි ඕනේ තරම් ඉන්නවා. ඒත් එයාට ඒකට කැමැත්තක්‌ නැහැ. මම බල කරලා කිව්වේ නැත්නම් දුව ඒ ගොල්ලෝ ළඟට වත් යන්නේ නැහැ. ගෑනු ළමයෙක්‌ හැදෙන්න ඕනේ මේ විදිහට නෙවෙයි. දුව සාමාන්‍ය ගැහැනු ළමයෙක්‌ වගේ හැදෙනවට ඔයත් කැමති නේ. එයා සාමාජයේ නිසි තැන ලබාගෙන කටයුතු කරනවා දකින්න ඔයා කැමති වෙන්න ඕනේ."

"ග්‍රේස්‌ ඔයා මේ පොඩි දේකට බය වෙලා නේ කෑගහන්නේ. හිතන්න රොබී බල්ලෙක්‌ කියලා. තමන් ගේ තාත්තට වැඩිය බල්ලට කැමති ළමයි ඕන තරම් මම දැකල තියෙනවා."

"ජෝර්ඡ් බල්ලෙක්‌ ඊට වඩා වෙනස්‌. අපි මේකේ කෙළවරක්‌ දකින්න ඕනේ. ඔයාට පුළුවන් ඒක ආපහු සමාගමට විකුණන්න. මම ඒගොල්ලන් ගෙන් ඇහුවා, ඔයාට ඒක කරන්න පුළුවන්."

"ඔයා ඇහුවා? ග්‍රේස්‌, අපි මේ විදිහට සීමාන්තික ව කටයුතු කරන්න හොඳ නැහැ. ග්ලෝරියා තව ටිකක්‌ ලොකු වෙනකල් අපි රොබී ව තියා ගන්නවා. ඒ ගැන කතාව මෙතැනින් ඉවරයි. තේරුණා ද?" ඔහු කෝපයෙන් කාමරයෙන් පිට වී ගියේ ය.

එහෙත් ඊට දෙදිනකට පසු හැන්දැවේ වෙස්‌ටන් මහත්මිය තම සැමියා සමඟ නැවතත් ඒ ගැන කථා කළා ය.

"ජෝර්ඡ්, ඔයා දැන් වත් මම කියන දේ අහන්න ඕනේ, තේරුණා ද? අහල පහළ උදවිය මේක ගැන නරක ආකල්පයක්‌ ඇති කරගෙන තියෙනවා."

"මොකක්‌ ගැන ද?"

"රොබී ගැන"

"ඔයා මොනව ද මේ කියන්නේ?" වෙස්‌ටන් ගේ මුහුණ කෝපයෙන් රතු වී තිබිණි.

"මුල දී මුල දී මමත් ගණන් ගත්තේ නැහැ. ඒත් දැන් මටත් නිකන් ඉන්න බැහැ. අහල පහළ අය හුඟ දෙනෙක්‌, රොබී ව භයානක දෙයක්‌ හැටියට සලකන්නේ. හවසට ඒගොල්ලන් ගේ ළමයින්ට අපේ ගේ ළඟට එන්න ඉඩ දෙන්නෙ නැහැ."

"ඒ වුණාට අපේ දරුවා එයත් එක්‌ක ඉන්න එක ගැන අපට විශ්වාසයි නේ? ඒ ගොල්ලන්ට ඔන දෙයක්‌ හිතාගන්න කියනවා."

"එහෙම කිව්වට ප්‍රශ්නෙ විසඳෙන්නේ නැහැ. ජොර්ඡ් මට බඩුගන්න නගරෙට යන්න තියනවා. මට හැම දා ම ඒ ගොල්ලන්ව මුණ ගැසෙනවා. නගරේ අය රොබෝලා ගැන මීටත් වඩා නරකට හිතන්නේ. නිව්යෝක්‌වල ළඟ දී පනතක්‌ සම්මත කරලා තියනවා, ඉර බැහැලා ගිහින් පස්‌සෙන්දා ආපහු ඉර පායන වෙලාව අතර කාලය තුළ රොබෝලව මහමඟින් ඈත් ව තියගන්න ඕනේ කියලා."

"ඒ වුණත් අපට අපේ ගේ ඇතුළේ රොබෝවක්‌ තියාගන්න එක ඒ අයට වළක්‌වන්න බැහැ. ග්‍රේස්‌, මේක ඔයා ගෙ උප්පරවැට්‌ටියක්‌. මට ඒ බව තේරුණා. ඒත් ඒකෙන් වැඩක්‌ වෙන්නේ නැහැ. මගේ උත්තරේ තාමත් කලින් එක මයි. අපි රොබීව තියාගන්නවා."

එහෙත් ඔහු තම බිරිඳට ආදරය කළේ ය. ඇය ද එය දැන සිටියා ය. ජෝර්ඡ් වෙස්‌ටන් පිරිමියකු වූ නිසා ඇය ඇගේ ගැහැනුකම ආයුධයක්‌ කරගත්තා ය.

"අපි රොබී ව තියාගන්නවා. ඒ ගැන ආයෙත් කථා කරන්න එපා." ඊළඟ සතිය තුළ දී දස වරක්‌ පමණ ඔහු එසේ කෑගැසී ය. එනමුත් එහි හඩ ක්‍රම ක්‍රමයෙන් බාල වී ගියේ ය.

අවසානයේ ඔහු සිය දියණිය හමු වීමට ගොස්‌ ද්වේශසහගත හැඟීමකින් යුතු ව ගමේ පවත්වන "අලංකාර" සංදර්ශනයක්‌ ගැන කීමට සිදු වූ දිනය උදා විය.

ග්ලෝරියා ප්‍රීතීයෙන් අත්පුඩි ගැසුවා ය.

"රොබීත් එක්‌කන් යනව ද?"

"නැහැ, දුව. ඒවාට රොබාaලට එන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ වුණත් ගිහින් ආවට පස්‌සේ ඔයාට ඒ ගැන ඔක්‌කෝ ම විස්‌තර එයාට කියන්න පුළුවන් නේ." ඔහු අවසන් වචන කිහිපය තතනමින් කියා ඉවත බලාගත්තේ ය.

ග්ලෝරියා එදින එහි ගොස්‌ ආපසු ආවේ දැඩි උද්යෝගීමත් හැඟීමකින් යුතු ව ය. සංදර්ශනය අතිශයින් ම උත්කර්ෂවත් විය.

ඇය, තාත්තා ජෙට්‌ - මෝටර් රථය හසුරුවා ගරාජයට ගන්නා තෙක්‌ බලා සිටියා ය.

"තාත්තේ මම රොබීට කියල එන්නම්. එයා ඒකට හුඟක්‌ කැමති වෙයි."

ඔහුට තවදුරටත් මෝටර් රථය තුළට වී සිටිය නොහැකි විය. තමාට දැන් යථාර්ථයට මුහුණ දීමට සිදු වන බව ඔහු දැන සිටියේ ය.

ග්ලෝරියා මිදුල හරහා දිව ගියා ය.

"රොබී- රොබී"

දොර අසල දී දුඹුරු පැහැති දැස්‌ විදාගෙන වලිගය වනමින් සිටි දිගු ලෝමවලින් ගැවසී ගත් අලංකාර බල්ලකු දැක ඇය එක වර ම නැවතුණා ය.

"ෂා ලස්‌සන බල්ලෙක්‌" ග්ලෝරියා ඌ අසලට විත් ඌ අතගාන්නට වූවා ය.

"එයා මට ද ගෙනාවේ තාත්තේ?"

ඇගේ මව ද ඔවුන් අසලට පැමිණ සිටියා ය.

"ඔව් දුව, ඔයාට තමයි. එයා ලස්‌සනයි නේ? ඔයා වගේ ළමයින්ට එයා හරි කැමතියි."

"එයාට සෙල්ලම් කරන්න පුළුවන් ද?"

"ඔව්, ඔව් එයාට පුළුවන් සෙල්ලම් ඕන තරම් තියෙනවා. ඔයා කැමති ද ඒවා බලන්න?"

"ඔව් ගොඩාක්‌ කැමතියි. රොබීටත් එයා ව පෙන්නන්න ඕනේ. රොබී"

ඇය නතර වී මඳක්‌ කල්පනා කළා ය.

"එයාව සංදර්ශනයට එක්‌කගෙන ගියේ නැති එක ගැන මාත් එක්‌ක තරහ වෙලා වෙන්න ඇති. එයා එයා ගේ කාමරයට ම වෙලා ඉන්නේ. තාත්තා කිව්වොත් නම් එයා පිළිගනී වි, රොබෝලට ඒවට එන්න දෙන්නේ නෑ කියලා."

වෙස්‌ටන් මහතා තම බිරිඳ දෙසට හැරිණි. එහෙත් ඇය ගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට ඔහු අපොහොසත් විය.

ග්ලෝරියා ආපසු හැරී පඩිපෙළ බැස, හඩ නඟමින් දිව ගියා ය.

"රොබී - ඇවිත් බලන්න කෝ, අම්මයි තාත්තයි මට ගෙනත් දීපු දේ. රොබී, ඒගොල්ලෝ මට ලස්‌සන බල්ලෙක්‌ ව ගෙනැල්ලා."

ඊට මොහොතකට පසු, ඇය බියපත් බවකින් යුතු ව ආපසු පැමිණියා ය.

"අම්මේ, රොබී එයා ගෙ කාමරේ නෑ. කෝ එයා?"

කිසිවකු ගෙන් පිළිතුරක්‌ නො ලැබිණි. ජෝර්ඡ් වෙස්‌ටන් අමුතු උනන්දුවකින් මෙන් අහස දෙස බලා සිටියේ ය.

"කෝ අම්මේ රොබී?" වෙස්‌ටන් පහත්මිය වාඩි වී, තම දියණිය ළඟට කැඳවාගෙන මුදු ස්‌වරයෙන් කතා කරන්නට වූවා ය.

"කණගාටු වෙන්න එපා ග්ලෝරියා, මම හිතන්නෙ රොබී යන්න ගිහින්."

"යන්න ගිහින්? කොහාට ද? කොහාට ද අම්මේ එයා ගිහින් තියන්නේ?"

"අපි කවුරුත් දන්නේ නැහැ දුව, එයා පිට වෙලා ගිහිල්ලා. අපි හැම තැන ම එයාව හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ."

"ඒ කියන්නේ එයා අයෙත් කවදා වත් ම එන එකක්‌ නැද්ද?" භීතිය නිසා ඇගේ දැස්‌ විශාල වී තිබිණි.

"එයාව අපට ඉක්‌මනින් හොයාගන්න පුළුවන් වෙයි. අපි එයා ගැන දිගට ම හොයමු. ඒ අතරේ එයාට ඔයා ගේ ලස්‌පන බල්ලත් එක්‌ක සෙල්ලම් කරන්න පුළුවන් නේ. මේ බලන්න එයා."

"මට ඔය කෙහෙල්මල් බල්ල ව ඕනෙ නෑ. මට ඕනේ රොබී ව. මට කොහොම හරි රොබීව හොයල දෙන්න." ඇගේ හැඟීම් වචනවලින් කියාගැනීමට අපහසු වූ තැන එය විලාපයක්‌ බවට හැරිණි.

වෙස්‌ටන් මහත්මිය, උපකාරයක්‌ පතා තම සැමියා දෙස බැලුවත් ඔහු ගේ උනන්දුව තවමත් අහස දෙස ම වූ නිසා අස්‌වසාලීමේ කටයුත්ත ද තමා ම කිරීමට ඇය සිතුවා ය.

"අයි ග්ලෝරියා ඔයා අඩන්නේ? රොබී කියන්නේ යන්ත්‍රයක්‌ විතරයි. නිකම් ම නිකං යන්ත්‍රයක්‌. එයා කොහොමට වත් පණ තියෙන දෙයක්‌ නෙවෙයි."

"එයා පණ නැති යන්ත්‍රයක්‌ නෙවෙයි. එයා අපි වගේ ම එක්‌කෙනෙක්‌. අනිත් එය එයා මගේ යාළුවා. මට එයා ව ආපහු ඕනේ. අනේ අම්මේ මට ආපහු ගෙනත් ඕනේ." ග්ලෝරියා නපුරු වී කෑගසන්නට වූවා ය.

ග්ලෝරියා ගේ දුක ඇයට ම නැති කරගන්නට ඉඩ හැර ඇගේ මව පරාජිත ව පිට වී ගියා ය.

"එයා ගෙ දුක එයා ම නැති කරගත්තු දෙං" ඇය තම සැමියා සමඟ කීවා ය.

"ළමා කාලයේ ඇති වන දුක, හැම දා ම තියෙන්නෙ නැහැ. දවස්‌ දෙක තුනකින් ම එයාට ඒ රොබෝව තිබුණා ද කියල වත් මතක නැතිවෙලා යා වි."

එහෙත් වෙස්‌ටන් මහත්මිය ගේ ආකල්පය, පමණට වඩා සුබවාදී එකක්‌ බව, කාලය ගත වීමත් සමඟ පසක්‌ විය.

ලබන සතියේ තවත් කොටසක්‌

අසිසෙක්‌ ඇසිමෝව්ගේ' "රොබී" නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.

අනුවාදය

අමල් වික්‍රමසූරිය