logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සිත ගැන අනාවැකි කී ඩේකාට්‌ස්‌ ගේ මොළේ තරම

ප්‍රංශ මහා දාර්ශනික රෙනේ ඩෙකාට්‌ස්‌ ගේ හිස ගැන වරින් වර ඉතිහාසය තුළ කතාබහට ලක්‌ ව ඇත. පළමුවෙන් ම ඒ ගැන කතාබහ ඇති වූයේ සියවස්‌ කීපයකට පෙර ඒ හිස නිදන් හොරුන් විසින් සොරකම් කරනු ලැබූ නිසා ය. අද ඒ හිස ගැන කතාබහ වන්නේ හොරකමක්‌ නිසා නො ව ඔහු ගේ මොළයේ ඇති විශේෂත්වයක්‌ නිසා ය. එය නම් ඔහු ගේ මස්‌තිෂ්ක බාහිකයෙහි නෙරීමක්‌/ඉදිමුමක්‌ (Bulge) ඇති බව සොයාගැනීම ය.

මෙලෙස මස්‌තිෂ්ක බාහිකයෙහි නෙරීමක්‌/ඉලිප්පීමක්‌/ඉදිමීමක්‌ තිබීම මගින් යම් පුද්ගලයකු ගැන අනාවැකි කියන්නට පුළුවන. මන්ද යත් මෙවැනි නෙරුමක්‌ සහිත පුද්ගලයායෝ භාෂාව, දර්ශනය යන විෂයයන් ගෙන් කුඨප්‍රාප්තියට පත් වූවෝ වෙති. එයට හේතුව අර්ථවිචාරයට (Semantic) හා භාෂා ඥනයට අදාළ බොහෝ ක්‍රියා පාලනය වන්නේ මොළයේ මේ ප්‍රදේශයෙන් බැවිනි. මේ වැදගත් අනාවරණය සිදු කරන ලද්දේ ප්‍රංශ හා ඕලන්ද විද්‍යාඥ කණ්‌ඩායමක්‌ විසිනි. මේ කණ්‌ඩායමට Charlie Philippe, Huynh Isabelle Sorto Russell ඇතුළු විද්‍යාඥ පිරිසක්‌ ඇතුළත් වෙති. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු නියුරොලොජිකල් සයන්සස්‌ ජර්නලයෙහි අප්‍රේල් කලාපයෙහි පළ වී තිබේ.

The Brain of Descartes - Anatomical Analysis මැයෙන් වූ මේ නිබන්ධයේ දී පර්යේෂකයන් උත්සාහ ගෙන ඇත්තේ ඩෙකාට්‌ස්‌ ගේ මොළය ස්‌නායු විද්‍යාත්මක ව විශ්ලේෂණය කරන්නට ය. ඒ සඳහා ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ CT ස්‌කෑන් තාක්‌ෂණයයි.

ඩෙකාට්‌ස්‌ ගේ හිස 19 වැනි සියවස සිට මේ දක්‌වා සුරක්‌ෂිත ව පැවතියේ ප්‍රංශ කෞතුකාගාරයේ ය. මෙතරම් කලක්‌ ගත වී තිබුණත් කිසිවකුත් ඔහු ගේ මොළයේ අභ්‍යන්තරය ගැන අවධානය යොමු කර තිබුණේ නැත. හැම දෙනා ම අවධානය යොමු කර තිබුණේ ඔහු ගේ ඇටසැකිල්ලට සිදු වූ දේවල් ගැන (සොරකම් කිරීම ආදිය) පමණි. ඩෙකාට්‌ස්‌ ගේ සිරුර තුන් වරක්‌ ම මිහිදන් කර ගොඩ ගන්නා ලද්දකි.

කලක්‌ අතුරුදන් ව තිබු මේ ඇටසැකිල්ල යළි ලොව හමුවට ආවේ 1821 දී ය. ස්‌වීඩන රසායන විද්‍යාඥ බර්සීලියස්‌ මැදිහත් වීම නො වන්නට මේ මහා දාර්ශනිකයා ගේ ඇට සැකිල්ල හා හිස්‌කබල අනාගත පරපුරට අහිමි වන්නට ද ඉඩ තිබිණි.

1821 මාර්තු මාසයේ ස්‌ටොක්‌හෝම් පුවත්පතක ඩෙකාට්‌ස්‌ ගේ සැකිල්ල විකීණීමට ඇති බව සඳහන් පුවතක්‌ දුටු බර්සීලියස්‌ වහා අදාළ මිනිසා සොයාගෙන ඒ සැකිල්ල 'රිස්‌ක්‌' 17කට මිල දී ගත්තේ ය. ඔහු ඉන්පසු එය ප්‍රංශ කෞතුකාගාරයට පරිත්‍යාග කළේ ය. මේ වසරේ දී Philippe ඇතුළු පිරිස පර්යේෂණය සඳහා භාවිත කළේ මේ ඇටසැකිල්ලේ හිස්‌කබලයි.

මෙහි දී පර්යේෂයෝ Endoast නම් ක්‍රමවේදය පාවිච්චි කළ හ. එහි දී අනාවරණය වූ වැදගත් ම දෙය මස්‌තිෂ්ක බාහිකයේ වූ නෙරුමයි. එම නෙරුම වූයේ පූර්ව බාහිකයේ වම් පැත්තේ ය. මේ කොටසේ ඇත්තේ Brodmann area 45 නම් කලාපයකි. එහෙයින් Brodmann area 45ට අදාළ කාර්යයන් විමසීම අත්‍යවශ්‍ය වේ.

බ්‍රොකා පෙදෙස (Broca's area) ගොඩනැෙගන්නේ මේ සඳහන් කළ Brodmann area 45, Brodmann area 44 හා එක්‌ වීමෙනි. Brodmann area (BA) 45 යනු මූලික ව ම මොළයේ භාෂා ඥනයට හා අර්ථවිචාරයට අදාළ ප්‍රදේශයයි. එසේ ම නිර්මාණශීලිත්වයට අදාළ ඥන සම්පාදනයට ද මෙය වැදගත් වේ.

ඩෙකාට්‌ස්‌ පඩිවරයා සැලකුව හොත්, මෑත භාගයේ දී බිහි වූ මහා දාර්ශනිකයකු මෙන් ම මූල්කාලීන ගණිතඥයකු ලෙස ද ඔහු සැලකේ. අද ගණිතයේ භාවිත වන මහා සංකල්ප ඔහු එදා ඉදිරිපත් කළේ සුළු මොහොතක්‌ තුළ දී ය. එසේ ම ඔහු ඉදිරිපත් කළ චිත්තකාය ගැටලුව අදාළ දාර්ශනික පර්ෂදවල නිරතුරුව විවාදයට හා කතිකාවට බඳුන් වේ.

එනිසා ඔහු අතිශය උසස්‌ නිර්මාණකරුවකු ඇර්ථ විචාරකයකු හා චින්තකයකු බවට විවාදයක්‌ නැත. ඔහු භාෂාවන් පිළිබඳ විශේෂ හැදැරීමක්‌ නො කළ ද අද වන විට ඔහු ඉදිරිපත් කළ අදහස්‌ ලොව පුරා විශ්වවිද්‍යාලයන්හි භාෂා හා වාග් විද්‍යා දෙපාර්තමේන්තුවල උගන්වනු ලැබේ. එහෙයින් ඔහු භාෂාව පිළිබඳ මහා පරිචයක්‌ ඇත්තකු ලෙස සැලකීම වරදක්‌ නො වේ.

ඩෙකාට්‌ස්‌ ගේ මොළය පිළිබඳව කළ පිරික්‌සුමේ දී හෙළි වූ තවත් වැදගත් දෙයක්‌ වූයේ මොළයේ පූර්ව හා Temoral ඛණ්‌ඩිකා බද්ධ වී ඇති බවයි. ඔහු ගේ මොළය පරිමාව ඝන සෙන්ටිමීටර 1540 ක්‌ විය. මෙය සාපේක්‌ෂ ව විශාල අගයකි. සාමාන්‍ය පිරිමියකු ගේ මේ අගය ඝන සෙන්ටිමීටර 1260ක්‌ වේ.

මනෝඡ් රත්නායක