logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විදේශයන්හි සිට පැමිණෙන්නන් හරහා යළිත් වරක්‌ මෙරට මැලේරියාව පැතිරීමට ඇති අවදානම ගැන අවදියෙන් සිටීම වැදගත්!

ශ්‍රී ලංකාව යනු දැන් මැලේරියාවෙන් තොර රටකි. (Malaria free country). ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක්‌ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේ (2016) දී ය.

එය විශේෂයෙන් ම මැලේරියා මර්දන ව්‍යාපාරයේත්, සෞඛ්‍ය අධ්‍යාපනයට හා ප්‍රචාරණයට අදාළ රාජ්‍ය අංශවලත්, පොදුවේ රටේ හැම දෙනා ගේත් ජයග්‍රහණයකි. එය එසේ වුවත් අප කිසිසේත් ම මැලේරියාව පිළිබඳව පවතින අවධානය හා උනන්දුව ඉවත් කරගත යුතු නො වේ. මන්ද යත්, අප රටෙන් මැලේරියාව තුරන් කර ඇති මුත් වෙනත් රටවලින් එම මැලේරියා පරපෝෂිතයා අප රටට සංක්‍රමණය වන්නට ඉඩ ඇති බැවිනි.

මෙලෙස විදේශයන්හි සිට පැමිණි අයට මැලේරියාව වැළඳී ඇත්තේ ඒ රටවල දී බැවින් එය අප රටෙන් රෝගය වාර්තා වීමක්‌ ලෙස සැලකිය නොහැකි ය. තව ද මේ දක්‌වා මෙලෙස විදේශවල සිට ආ අය ඔස්‌සේ අප රටේ වෙසෙන වෙනත් අයට (එසේ ආ අයට විදින ලද මදුරුවකු විදීමෙන්) ද්විතීයිකව මැලේරියාව වැළඳුණු බවක්‌ ද වාර්තා වී නැත.

එහෙත් මෙලෙස විදේශවල සිට රෝගීන් පැමිණීමේ යම් අවදානමක්‌ ඇත. මන්ද යත් ඔවුන් හරහා රෝගය යළි හිස එසවීමේ සම්භාවිතාවක්‌ පවතින බැවිනි. විශාල පරිශ්‍රමයක්‌ දරා, මෙතෙක්‌ ප්‍රමුඛ ව සිටි P. vivax හා P. falciparum විශේෂ මර්දනය කර තිබිය දී අප රටේ මෙතෙක්‌ ප්‍රමුඛ ව නො සිටි පරපෝෂිතයකුට මේ ජෛව අවකාශය ආක්‍රමණය කිරීමේ යම් ඉඩක්‌ ඇත් දැයි යන කුතුහලය මතු වේ.

කොළඹ වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය ෂාමිනි ගුණවර්ධන සහ නදීරා කරුණාවීර, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ රේච්ල් ඩැනියෙල්ස්‌, කෙට්‌ලින් ඩර්ෆි, ඩයන් වර්ත් සහ සෑරා වෝල්ක්‌මන්, රුහුණ විශ්වවිද්‍යාලයයේ තිෂාන් යහතුගොඩ සහ මිරානි වීරසූරිය යන පර්යේෂකයන් විසින් මෙවැනි අප රටේ ප්‍රමුඛ නො වන පරපෝෂිතයකු වන Plasmodium ovale පිළිබඳව මෑතක දී කරන ලද අධ්‍යයනයක්‌ සම්බන්ධව අප අවධානය යොමු කළ යුත්තේ එහෙයිනි.

මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු BMC Infectious Diseases ජර්නලයෙහි නවතම කලාපයෙහි පළ වී තිබේ. උක්‌ත අධ්‍යයනය මගින් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මැලේරියාවෙන් තොර කර ඇති තත්ත්වයක්‌ යටතේ වුව ද බහුල/ප්‍රමුඛ විශේෂයන් මෙන්ම වෙනත් විශේෂයකට වුව ද මතු වීමේ ඉඩක්‌ ඇති බවත්, එම අවදානම හඳුනාගැනීම සඳහා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවත් ය.

උක්‌ත පර්යේෂකයන් තම අධ්‍යයනයේ දී සැබැවින් ම කර තිබුණේ ප්‍රත්‍යක (Case study) අධ්‍යයනයකි. එනම් එක්‌ පුද්ගලයකුට අදාළ සිද්ධියක්‌ විදාරණය කිරීමකි.

එහි දී ඔවුන් ගේ අවධානය යොමු ව තිබුණේ ගාල්ලේ වදුරඹ විසූ 41 හැවිරිදි පොලිස්‌ නිලධාරියෙකි. 2015 මැයි 12 වැනි දා මොහු උණ හා වෙව්ලීමේ රෝග ලක්‌ෂණ සහිත ව කරාපිටිය ශීක්‌ෂණ රෝහලට ඇතුළත් කරන ලදී. දින තුනක්‌ තිස්‌සේ ඔහු ගේ උක්‌ත රෝග ලක්‌ෂණ පැවතීම මෙසේ රෝහල්ගත කිරීමට හේතුවයි. රෝහලේ දී සිදු කළ පරීක්‌ෂණයේ දී හෙළි වූයේ උණ වැළඳී ඇති මුත් ඔහු වෙතින් ශ්වසන, ආන්ත්‍රික, ආමාශයික හෝ රුධිර සංසරණ අසාමාන්‍යතා පිළිබිඹු නො වන බවයි. එසේ ම ප්ලීහාවේ හෝ අක්‌මාවේ හෝ විශාල වීමක්‌ ගැන සායනික සාක්‌ෂ්‍ය ද නො වී ය.

මේ රෝගියාට උණ වැළඳී තිබුණේ පින්නවල දී භාවනා වැඩසටහනකට සහභාගි වෙමින් සිටින අතරතුර ය. ඔහු ගේ රුධිරය ඩෙංගු ප්‍රතිදේහ සඳහා ද ධන ප්‍රතිචාර දැක්‌වූ බව (Positive) පරීක්‌ෂාවේ දී පෙනී ගිය අතර ඔහු ගේ රුධිර පට්‌ටිකා ප්‍රමාණය තිබුණේ අඩු මට්‌ටමක ය. (රුධිරය මයික්‍රො ලීටරයක පට්‌ටිකා 77,000 - සාමාන්‍ය පුද්ගලයකු ගේ පට්‌ටිකා ප්‍රමාණය රුධිරය මයික්‍රො ලීටරයක පට්‌ටිකා 1,50,000 - 4,00,000 පමණ වේ). මේ පුද්ගලයාට ඩෙංගු ඇතැයි සැක කෙරුණ අතර ඔහුට ඩෙංගු සඳහා ප්‍රතිකාර කෙරිණි. දින අටක්‌ ගිය පසුත් උණ නො බැස ගිය හෙයින් ඔහුව රුහුණ වෛද්‍ය විද්‍යාලයයේ පරපෝෂිත විද්‍යා ඒකකයට යොමු කරන ලදී. එහි දී කෙරුණු අණ්‌වීක්‌ෂීය පරීක්‌ෂාවේ දී පෙනී ගියේ ඔහු ගේ දේහයෙන් හමු වූ පරපෝෂිතයා රූපීයව P. vivax ට සමාන බවත්, පරපෝෂිත ව්‍යාප්තතාව මයික්‍රොලීටරයට 7695ක්‌ වන බවත් ය. RDT (Rapid Diagnostic Test)මේ P. falciparum ආසාදනයක්‌ නො වන බවට RDT (Rapid Diagnostic Test) පරීක්‌ෂාව මඟින් තවදුරටත් තහවුරු කරන ලදි. රෝගියාට P. vivax මැලේරියාව ඇතැයි සලකා ඒ සඳහා වන ප්‍රතිකාර ක්‍රමයක්‌ වන ක්‌ලෝරොක්‌වින් ප්‍රතිකාරය මගින් ඔහු යථා තත්ත්වයට පත් කරවීමට හැකි විය.

ඔහුට දින 14ක්‌ Primaquine ප්‍රතිකාර පංතිය ද ලබා දෙන ලදී. රෝහලෙන් නිදහස්‌ කිරීමෙන් පසුව ද අවුරුද්දක්‌ පුරා මාසයෙන් මාසයට ඔහු ගේ දේහය මැලේරියා ප්‍රතිදේහජනක (antigen) සඳහා පිරික්‌සන ලදී. මේ ප්‍රතිදේහජනක හා රුධිර පරීක්‌ෂණවලින් හෙළි වූයේ ඒවා මැලේරියා සඳහා සෘණාත්මක බව ය. එනම් රෝගියා සුවය ලබා ඇති බව ය.

කෙසේ වෙතත් රෝගියාට රෝගය පවතිද්දී ලබාගත් රුධිර සාම්පලයකින් කරන ලද ජානමය පරීක්‌ෂාවලින් පෙනී ගියේ රෝගියා තුළ වූ පරපෝෂිතයා vivax නොව ovale බවයි. මේ පුද්ගලයාට රෝගය වැළඳී ඇත්තේ විදේශයක දී බව ද ඔහු ගේ තොරතුරුවලින් හෙළි විය. ඔහු මැලේරියාව වසංගතයක්‌ බවට පත් ව ඇති ලයිබීරියාවේත් ඉන්දියාවේත් සංචාරය කොට ඇත්තෙකි. 2012 මැයි සිට 2013 නොවැම්බර් දක්‌වා ඔහු ගත කොට ඇත්තේ ලයිබීරියාවේ ය. මේ ගමනේ දී ඔහු මැලේරියාවට එරෙහි ව ගන්නා ප්‍රොපිලැක්‌සිස්‌ ප්‍රතිකාරය පාවිච්චි කොට තිබිණි. එහෙත් 2014 දී ඔහු අට දිනක්‌ ඉන්දියාවේ වන්දනාවක නිරත වූ අතර ඒ කාලයේ දී එම ඔසු භාවිත කොට නැත. එහෙයින් මේ ගමනක දී ඔහු තුළට පරපෝෂිතයා ඇතුළු වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. ඔහු ලංකාවේ ගත කළ කාලය තුළ දී විදේශිකයන් ගේ සමීප වීම් ගැන සඳහන් නො වන නිසා කලින් සංචාරවල දී මේ දේ සිදු වන්නට ඇතැයි සිතිය හැකි ය.

"පිටරටින් එන අයකුට ලංකාවේ ප්‍රමුඛව නැති පරපෝෂිතයකු ඇතුළු වී සිටිය හොත් සමහර විට ඌ හඳුනාගන්න ඉතා අපහසු වන්නට හැකියි. එක හේතුවක්‌ ඒ පරපෝෂිතයන් නිරවද්‍යව හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇති ප්‍රායෝගික හා තාක්‌ෂණික ගැටලු. හුගක්‌ වෙලාවකට පරීක්‌ෂා කරන අය බලාපොරොත්තු වන්නේ ලංකාවේ සහ ලෝකයේ බහුල/ප්‍රමුඛ විශේෂ හඳුනාගන්න විතරයි. ඉතිං විදේශයෙන් ආසාදිතව ආ කෙනා ගේ පරපෝෂිතයා අසාමාන්‍ය නම් හඳුනාගැනීම මගහැරෙන්න ලොකු ඉඩක්‌ තියෙනවා."

අප හා එසේ පැවසුවේ මේ අධ්‍යයනය මෙහෙයවූවන් ගෙන් කෙනෙකු වන මහාචාර්ය ෂාමිනි ගුණවර්ධන මහත්මියයි. ලංකාව තුළ මේ පරපෝෂිතයන් හඳුනාගන්නට අදාළ ජානමය පරීක්‌ෂණ තාක්‌ෂණ පහසුකම් ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මෙහි දී ඇය යෝජනා කර සිටියි.

ovale හඳුනා ගැනීමේ ගැටලුව

P. ovale රූපියව P. vivaxට ඉතා සමීප නිසා ඔවුන් එකිනෙකා ගෙන් වෙන් කර හඳුනාගැනීම ඉතා අපහසු ය. විශේෂයෙන් ම කිසියම් නියෑදියක සුළු ප්‍රමාණයක්‌ පරපෝෂීන් සිටින විට ඔවුන් හඳුනාගන්නට අපහසු ය. කෙසේ වෙතත් රතු රුධිර සෛලවල ඇති කරන වෙනස්‌කම් කිහිපයක්‌ විද්‍යාඥයන් ඉදිරිපත් කර තිබේ. ඉන් එකක්‌ වන්නේ Schuffner Dots නමින් හැඳින්වෙන, මේ දෙදෙනා මගින් ම රතු රුධිර සෛල මත ඇති කරන, තිත්වල ප්‍රමාණයයි. දම් පැහැ වූ මේ තිත් P. ovale ගේ සාපේක්‌ෂව ලොකුවට දැකිය හැකි ය. එසේ ම ඒ තිත් වඩාත් අඳුරු වන්නේ ද P. ovale විසින් ඇති කරන ලද විට ය. එමෙන් ම P. ovale ගේ සමහර සෛල ඕවලාකාර හැඩයක්‌ ගන්නා අතර, සමහර සෛලවල අගිස්‌ස පිටතට නෙරා තිබීම (fimbriated edges) P. ovaleට විශේෂිත ය. මේ P. ovale අපට හානි කරන්නට පැමිණ ඇත්තේ අද ඊයේක සිට නො වේ. මීට වසර මිලියන 3.5කට පමණ පෙර අපේ හොමිනිඩ මුතුන් මුත්තන්ට ද ඔවුන් මැලේරියාව හදන්නට ඇතැයි සැක කෙරේ.

වසර මිලියන 30කට එහා ගිය අතීතයේ දී පවා මැලේරියා පරපෝෂිතයා මදුරුවන් තුළ සිටි බවට සාක්‌ෂ්‍ය තිබේ. ඇම්බර තුළ සිර ව තිබූ වසර මිලියන 30ක්‌ තරම් පැරැණි මදුරුවකු ගේ දේහයෙහි පරපෝෂිතයන් හමු වී ඇත.

මිනිසුන්ට මැලේරියා පරපෝෂිතයන් ශරීරගත වන්නට ඇත්තේ ගොරිල්ලන් හරහා ය (එනම් ගොරිල්ලන්ට විදින ලද මදුරුවන් හරහා ය.)

හී්‍රක ඉතිහාසඥයකු හෙරඩෝටස්‌ට අනුව ඊජීප්තුව මැලේරියා මදුරුවා නිසා විශාල ආගතියකට මුහුණ දුන් රටකි. ක්‍රි.පූ. 2700 කාලයේ දී පිරමිඩ ගොඩනැගීමට දායක වූ බොහෝ දෙනෙක්‌ මෙන් ම රජ පවුලේ සාමාජිකයෝ ද මදුරු දෂ්ටනයෙන් මිය ගිය හ. ඊජිප්තුවාසීන්ට මේ ප්‍රහාර එල්ල වූයේ P.falciprurum පරපෝෂිතයා ගෙනි. එසේ ම මරණීය ප්‍රතිඵල ගෙන දෙන P.ovlae මේ කාලයේ ඊජිප්තුව තුළ පැතිර සිටි බව කියවේ.

P.ovlae සැලකූ කල එහි රූපීය ප්‍රභේද 2ක්‌ පවතී. ඒ P.ovlae curtisi හා P.ovlae waliikeri ලෙසිනි.

මේ ස්‌වරූප දෙක ම බහුලව වෙසෙන්නේ ඝානාව, මියන්මාරය, නයිජිරියාව, සාවෝ ටොමෝ, ලයිබිරියාව, සියෙරා ලියොන්, උගන්ඩා වැනි රටවල ය. මේ ලිපියෙහි විස්‌තර වන පර්යේෂණයට අදාළ පුද්ගලයා සංචාරය කර තිබුණේ ද ලයිබීරියාවේ ය. උක්‌ත ස්‌වරූප (walkeri හා curtisi) එකිනෙකාගෙන් වෙන් ව ගොස්‌ තිබුණේ මීට වසර මිලියන 1 හා 3.5ක්‌ අතර කාලයකට පෙර දී ය.

P.ovlae විශේෂය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන මදුරු විශේෂය Anopheles gambiae හාAnopheles funestus ය.

මේ පරපෝෂිතයා සහිත මදුරුවකු විදින ලද විට පරපෝෂිතයා රුධිර දහරාව ඔස්‌සේ මනුෂ්‍ය අක්‌මාවට ඇතුළු වේ. එහි දී පරාපෝෂිතයෝ අලිංගික ව ප්‍රජනනය කරති.

මනෝඡ් රත්නායක