logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නාය විපත් අවම කිරීම සඳහා ප්‍රජා මූලික නාය යැම් පූර්ව අනතුරු ඇඟවීමේ ව්‍යාපෘතිය

ස්‌වාභාවික උවදුරු හා ආපදා (Hazard and Disaster) ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද නිරන්තරයෙන් අසන්නට ලැබෙන වදනක්‌ මෙන්ම දකින්නට ලැබෙන කටුක අත්දැකීමකි. ගංවතුර, නාය යැම්, අකුණු ගැසීම්, නියඟ හා සුළි සුළං යනු ශ්‍රී ලංකාව තුළ පුද්ගල හා දේපළ හානි සිදු කරන සුලබ ස්‌වාභාවික ආපදාවන් ය. ඒ අතරින් මෑත දශක කීපය ඇතුළත නාය යැම් ප්‍රමුඛ ස්‌ථානයට පත් ව ඇත.

අතීතයේ සිට පැවැති පරිසර හිතකාමී, තිරසාර භුමි පරිහරණ රටාව වෙනස්‌ වී මිනිසුන් කඳුකර ප්‍රදේශ, කදු බෑවුම් වෙත ඉවක්‌ බවක්‌ නොමැති ව සංක්‍රමණය වීමත්, එවන් ප්‍රදේශවල ජනගහණය සාන්ද්‍රණය වීමත්, පරිසර විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටාවන් වෙනස්‌ වීමත් සමග නාය යැම් මගින් වන හානිය අපට දැනීමට පටන්ගත් අතර අද වන විට එය උග්‍ර ස්‌ථානයකට පැමිණ ඇත.

ඒ අනුව නාය යැම්, මෝසම් හා අන්තර් -මෝසම් කාල තුළ දී ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල දක්‌නට ලැබෙන ප්‍රධාන ආපදාව බවට පත් වී ඇත. දැනට පවතින සමීක්‌ෂණ වාර්තා අනුව නාය යැම් මඟින් 2016 වසර තුළ පමණක්‌ මිනිස්‌ ජීවිත 150ට අධික ප්‍රමාණයක්‌ අහිමි වී ඇති අතර පසුගිය දශක කීපය තුළ නාය යැම් මඟින් අහිමි වූ මුළු මිනිස්‌ ජීවිත සංඛ්‍යාව 1200කට අධික ය. මෙමඟින් මිනිස්‌ ජීවිත පමණක්‌ නො ව නිවාස ද 200,000ක්‌ පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත. නාය යැම් මඟින් සිදු වන මේ ජීවිත හා දේපළ හානිය ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි පාඩුවකි.



මෑත දශක කීපය තුළ එක ම ස්‌ථානයක වැඩි ම ජීවිත හානි සිදු වූ නාය යැම්

ශ්‍රී ලංකාවේ, නාය යැම් පර්යේෂණ හා නාය අවදානම අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන එක ම ආයතනය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organization - NBRO) මඟින් පසුගිය වසර කිහිපය තුළ කරන ලද සමීක්‌ෂණයන්ට අනුව, ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 20%ක්‌ එනම් වර්ග කිලෝමීටර 13000ක්‌ (13000 km2) පමණ නාය යැමේ අවදානම සහිත බව හඳුනාගෙන ඇත. මේ අවදානම් සහිත භූමි ප්‍රමාණය ලංකාවේ ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක 13ක්‌ ආවරණය වන පරිදි ව්‍යාප්ත වී පවතී. ඒ අතර බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්‌ත්‍රික්‌ක ප්‍රධාන වශයෙන් ඇතුළත් වන අතර මොණරාගල, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි කඳුකර කොටස්‌ ද මෙයට ඇතුළත් වේ. මේ දිස්‌ත්‍රික්‌ක තුළ ලංකාවේ ජනගහණයෙන් 30%ක්‌ (මිලියන 6) පමණ ජීවත් වේ.

NBRO ආයතනය ආරම්භයේ සිට ම නාය යැම් අවදානම අවම කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර, නාය යැම් ආපදා කලාප සිතියම්ගත කිරීම (1:50, 0000 හා 1:10,0000 පරිමාණයන්ට) එහි මූලික පියවරක්‌ ලෙස 1995 දී ආරම්භ කරන ලදී. ක්‍රමික ව වැඩි වන ජනගහණයත් සමඟ වැඩි වූ අක්‍රමවත් භූමි පරිහරණ රටා හා අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිත ව නාය යැම් අවදානම ශීඝ්‍ර ලෙස වර්ධනය වූ බැවින්, තිරසාර සංවර්ධනයකට උර දීම උදෙසා ආයතනීය කාර්යභාරය ද පුළුල් පරාසයක්‌ තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක්‌ නිර්මාණය විය. ඒ අනුව, නාය යැම් ආපදා කලාප සිතියම්ගත කිරීමට අමතරව නාය යැම් පිළිබඳ ව දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් පැවැත්වීම, වර්ෂාපතනය නිරීක්‌ෂණ කිරීම මඟින් නාය අවදානම් පුරෝකථනය කර පූර්ව නාය අනතුරු හැඟවීම් සිදු කිරීම, නාය යැම් ස්‌ථාන අධ්‍යයනය කිරීම හා අවදානම් කලාපවල ජීවත් වන ජනතාව විකල්ප සුදුසු ස්‌ථානවල පදිංචි කිරීම, හඳුනාගත් නාය ප්‍රදේශ නිරතුරු ව නිරීක්‌ෂණය කිරීම, භූමි යෝග්‍යතා සහතික නිකුත් කිරීම, ව්‍යqහාත්මකව නාය අනතුරු අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියත්මක කිරීම ආදී විවිධ ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.

මේ කුමන ක්‍රියාමාර්ගය අනුගමනය කළ ද කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන මිලියන 6කට අධික ජනගහනයක්‌ මගින් සිදු කරනු ලබන අක්‍රමවත් හා අවිධිමත් මානව ක්‍රියාකාරකම් පාලනය කරලීම ඉතා අපහසු කාර්යයක්‌ වී ඇති බැවින්, ඉහත ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට අපහසු වී ඇත. ඒ අනුව, පසුගිය වසර දක්‌වා ම නාය යැම් මඟින් සිදු වන මානව හා දේපළ සම්පත් හානිය අවම කිරීම ඉතා අසීරු කාර්යයක්‌ වී ඇත.

එබැවින් දැනට ඇති කාලෝචිත ක්‍රියාමාර්ගය වනුයේ නාය අවදානම් කලාපයන්හි ජීවත් වන මේ ජනතාව එම නාය යැම් සමඟ ජීවත් වීමට පුහුණු කරවීමත්, අවදානම ආපදාවක්‌ බවට පත් වීමට පෙර ඔවුන් ම එම තත්ත්වය හඳුනාගෙන එම ප්‍රදේශවලින් ඉවත් වීමට පුහුණු කරවීමත් ය. එනම් එම ප්‍රදේශ ආශ්‍රීතව ප්‍රජා මූලික/පාලිත පූර්ව නාය අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්‌ දියුණු කිරීම ය.

ඒ සඳහා NBRO ආයතනය මගින් පසුගිය වසරේ දී (2016) "ප්‍රජා මූලික නාය යැම් පූර්ව අනතුරු ඇඟවීමේ ව්‍යාපෘතිය (Community Based Landslide Early Warning Project- CBLEW) ආරම්භ කරන ලදී.

මේ ව්‍යාපෘතිය යටතේ....

මෑත දශකය තුළ සිදු වූ නාය අනතුරු අධ්‍යයනයන් ගෙන් වැටහී යන පරිදි, නාය අවදානම් කලාපයන්හී වෙසෙන බොහොමයක්‌ ජනතාව නාය ආපදාවන්ට ලක්‌ වන්නේ, නාය යැම් පිළිබඳව ඔවුන් සතු ව පවතින අල්ප දැනුමත්, අවදානම පිළිබද අඩු අවධානයත්, එවැනි ආපදාවන්හි අනතුරුදායක බව අඩු කරගන්නා ආකාරය පිළිබඳව නිසි දැනුමක්‌ නො තිබීමත්, පූර්ව නාය ලක්‌ෂණ හඳුනාගැනීමට, පූර්ව නාය ලක්‌ෂණ ඇති වූ ස්‌ථාන නිතර නිරීක්‌ෂණය කිරීමට හා එවැනි ස්‌ථානවල නාය සක්‍රීය නො වන ලෙස ක්‍රමවේද සකස්‌ කිරීමට ඔවුන් සතු ව පවතින අඩු හැකියාවත්, පූර්ව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව පෙර සූදානමක්‌ නොමැති වීමත්, වැරැදි මතවාද හා සංකල්පත් ආදී වූ හේතු නිසාවෙනි. එසේ ම, NBRO ආයතනය මඟින් නිකුත් කරනු ලබන කලාපීය පූර්ව අනතුරු ඇඟවීම් ඔවුන් වෙත නිසි කලට නො ලැබීමත්, අනතුරු ඇඟවීම් ලැබුණ ද, ජනතාව එය නො සලකා කටයුතු කිරීමත් තවත් හේතුවකි.

ජනතාව විසින් සිදු කරනු ලබන මේ අඩුපාඩු නිවැරැදි කරලිය හැකි නම්, ඔවුන් එම ප්‍රදේශවල පදිංචි ව සිටිය දී ම, නාය අවදානම අවම කිරීමට හැකියාව ඇත. මන්ද යත්, මිලියන හයකට අධික ජනගහණයක්‌ නාය අවදානම් බහුල ප්‍රදේශයන්හි ජීවත් වුව ද, ඔවුන් ගෙන් බොහෝ පිරිසක්‌ ජීවත් වන්නේ මධ්‍ය නාය අවදානම් ප්‍රදේශවල ය.

ප්‍රජා මූලික, පූර්ව නාය යැම් අනතුරු ඇඟවීමේ ව්‍යාපෘතිය ජනතාවට හඳුන්වා දෙමින් NBRO ආයතනය මඟින් උත්සාහ දරනුයේ ජනතාව විසින් කරනු ලබන මේ වැරැදි අවම කොට ඔවුන්ට තම ගම්මානවල ම ජීවත් වීමට අවස්‌ථාව සකසා දීම ය. ඒ සඳහා, මේ ව්‍යාපෘතිය යටතේ, නාය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නාය යැම් පිළිබඳව හා අවදානම අවම කර ගැනීමට ප්‍රජා මූලික ව ගත හැකි සරල ක්‍රියා මාර්ග පිළිබඳව නිසි දැනුමක්‌ ලබා දීම මූලික ව සිදු කරනු ලබයි. ඊට අමතරව පූර්ව නාය අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා සරල වර්ෂාමාන, ස්‌වයංක්‍රීය විතතිමාන වැනි උපකරණ ජනතාවට හඳුන්වා දීම හා ලබා දීම ද සිදු කරනු ලබයි.

ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය......

මේ වන විට මේ ව්‍යාපෘතිය බදුල්ල, නුවරඑළිය හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි තෝරාගන්නා ලද නාය අවදානම් සහිත ගම්මාන 130කට ආසන්න ප්‍රමාණයක දියත් කිරීම ආරම්භ කොට ඇත. වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී, ගම්වැසියන් වෙත යැමට පෙර, අදාළ ප්‍රදේශවල ග්‍රම නිලධාරීන්, ආපදා නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් හට මේ වැඩසටහන පිළිබඳව මූලික දැනුමක්‌ ලබා දී ඔවුන් හරහා අදාළ ප්‍රදේශයන්හි වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මේ යටතේ අදාළ ගම්මානවල ජනතාවට, නාය යැම්, කණ්‌ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා ගිලාබැසීම් සම්බන්ධව මූලික කරුණු පාදක කර ගනිමින්, එවැනි ආපදාවකට පෙර එය හඳුනාගන්නා ආකාරයත්, එවැනි අනතුරු අවම කරගැනීම හෝ වළක්‌වාගන්නා ආකාරයත්, එවැනි හදිසි ආපදා තත්ත්වයක දී ක්‍රියා කළ යුතු ආකාරයත් පිළිබඳ මනා දැනුමක්‌ ප්‍රථමයෙන් ලබා දීම සිදු කරයි.

ඉන් අනතුරුව නාය යැම් පූර්ව අනතුරු ඇඟවීම සඳහා භාවිත කරනු ලබන උපකරණ හඳුන්වා දෙනු ලැබේ. මේ යටතේ දැනට සරල විතතිමානය හා සරල වර්ෂාමානය හඳුන්වා දීම සිදු කෙරෙයි. මෙහි දී වඩාත් වැදගත් කරුණ නම් ජනතාව විසින් ම වර්ෂාපතන දත්ත හා විතතිමාන දත්ත නිරීක්‌ෂණය කර, එම දත්ත භාවිතයෙන් අවදානම කල් වේලා ඇති ව හඳුනාගෙන, ඔවුන් විසින් ම පූර්ව අනතුරු ඇඟවීම් තම ප්‍රදේශයට නිකුත් කිරීමේ ක්‍රියාවලියක්‌ සකස්‌ කරනු ලැබීමයි.




වැඩසටහනේ තෙවැනි පියවර ලෙස ක්‍රියාකාරකමකට ජනතාව සම්බන්ධ කරගනු ලබයි. ඒ යටතේ ජනතාව තම ප්‍රදේශයේ නාය යැම් ආපදා කලාප සිතියම්ගත කිරීමට යොමු කරනු ලැබේ. අනතුරුව එම සිතියම උපයෝගී කරගනිමින් නාය යැමක දී ජනතාව ඉවත් වීමට භාවිත කළ යුතු ආරක්‌ෂිත මාර්ග, ආෂික්‌ෂිත ස්‌ථාන හා වර්ෂාමාන ස්‌ථාපිත කළ යුතු ස්‌ථාන ප්‍රජාව විසින් ම තීරණය කරනු ලබයි.

වැඩසටහනේ අවසන් අදියර වන්නේ ආපදා කමිටුවක්‌ පිහිටුවීමයි. මේ සඳහා ප්‍රදේශයේ සිටින වඩාත් ක්‍රියකාරී පුද්ගලයන් කිහිප දෙනකු පත් කරනු ලැබේ. මෙමගින් වර්ෂා කාලවල දී අවදානම් කලාප පිළිබදව විමසිලිමත් වීමත්, ආපදා පිළිබඳ තොරතුරු ප්‍රදේශය පුරා ඉක්‌මනින් ව්‍යාප්ත කිරීමත්, වර්ෂාපතනමාන දත්ත හා විතතිමාන දත්ත නිරීක්‌ෂණය කර, අදාළ ආයතන (GN, NBRO, DS, DMC, NDRC) හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රදේශයේ ජනතාව කල් වේලා ඇති ව ඉවත් කිරීමට තීරණ ගැනීමත්, NBRO ආයතනය හා ජනතාව අතර සම්බන්ධතාවය නොකඩවා පවත්වාගැනීමත් අපේක්‌ෂා කෙරේ.

ව්‍යාපෘතියේ ඉදිරි පියවර.....

දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා ආපදා සහන සේවා මධ්‍යස්‌ථානවල ද සහයෝගය ඇති ව මේ වන විට මේ ව්‍යාපෘතිය බදුල්ල, නුවරඑළිය, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කයන්හි සාර්ථකව ක්‍රියත්මක වේ. පූර්ව නාය අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්‌ ලෙස, මහජනතාව ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙවැනි ව්‍යාපෘති වඩාත් ඵලදායී බව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී NBRO ආයතනය අවබෝධ කරගත් බැවින් මේ ව්‍යාපෘතිය නාය යැමේ අවදානම සහිත සියලු දිස්‌ත්‍රික්‌ක සඳහා දීප ව්‍යාප්ත ව සිදු කිරීමට තීරණය කර ඇත.

එසේ ම ව්‍යාපෘතියේ ඉදිරි පියවරක්‌ ලෙස ආතති පැලුම් සහිත ස්‌ථාන සඳහා ස්‌වයංක්‍රීය ආතතිමාන (Automated Extensometer) සවි කිරීමටත්, පොළොවේ ජල ප්‍රමාණ පිළිබඳ උත්තේජක (ඵදසිඑමරු seබිදර) සවි කිරීමටත් සැලසුම් සකස්‌ කර ඇත. නාය අවදානම් තත්ත්වයක්‌ ඇති වූ විට මේ උපකරණ මඟින් ස්‌වයංක්‍රීය ව හඬක්‌ නිකුත් කර පූර්ව නාය යැම් අනතුරු ජනතාව වෙත ලබා දීමට බලාපොරොත්තු වේ. එසේ ම එම දත්ත ස්‌වයංක්‍රීය ව ජනතාව වෙත හා NBRO කාර්යාල වෙත අන්තර්ජාලය හරහා ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස්‌ කරනු ලැබේ. ඒ අනුව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද දෙකක්‌ (Manual and automated systems) භාවිත කිරීම මගින් අනතුරුදායක අවස්‌ථාවක දී සිදු විය හැකි අතපසුවීම් අවම කරගැනීමටත්, වඩා විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබා දීමටත් බලාපොරොත්තු වේ.



ඊට අමතරව ජනතාව විසින් අඳින ලද, ප්‍රදේශයේ නාය යැම් ආපදා කලාප සිතියම තවදුරටත් වැඩි දියුණු කර අදාළ ප්‍රදේශයේ පොදු ස්‌ථානයක ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇත. මෙමඟින් අදාළ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ගේ අවධානය මේ වැඩපිළිවෙළ හා බද්ධ කර තබාගැනීමත්, ඒ අනුව සිදු වන අඛණ්‌ඩ දැනුවත් වීම මගින් මේ වැඩපිළිවෙළට ඔවුන් ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමත්, එමගින් ඔවුන් ගේ ජීවිත වඩාත් ආරක්‌ෂාකාරී තත්ත්වයකට පත් කිරීමත් අපේක්‌ෂා කෙරේ.

මීට අමතරව ඉදිරියේ දී..

බෙදා දෙනු ලබන සියලු ම වර්ෂාපතන මානයන්හි දත්ත සටහන් පත් මාසිකව රැස්‌ කොට, වර්ෂාපතනමාන දත්ත ගබඩාවක්‌ අඛණ්‌ඩව පවත්වා ගෙන යැම.

මෝසම් වැසි සමයට පෙර ප්‍රජා නායකයන් සහ නිලධාරීන් සඳහා රැස්‌වීම් හා වැඩමුළු පැවැත්වීම.

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන කාලගුණ අනාවැකි තොරතුරු වැසි ආරම්භ වීමට පෙර අදාළ ප්‍රජා නායකයන් සහ නිලධාරීන් හට දැනුම් දීම.

ගමේ නායකයන්, ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, ආපදා සහන සේවා මධ්‍යස්‌ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි එක්‌ එක්‌ පාර්ශ්වයන් ගේ වගකීම සඳහන් කර අත්පොත් සකසා ලබා දීම.

වැනි වැඩ කටයුතු සිදු කිරීමට ද බලපොරොත්තු වේ.

ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්‌ස
භූ විද්‍යාඥ දර්ශනී රාජපක්‌ෂ
භූ විද්‍යාඥ මධුෂිකා ප්‍රසාදනී
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය